මේ වන විට ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස්ගේ ශ්‍රී ලංකාවට අදාල වාර්තාව රජයට ලබා දී ඇති අතර ඊට පිළිතුරු බැඳීම සඳහා ලබා දී තිබූ කාලය ජනවාරි 27 වන දා අවසන් විය. ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන්කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ රජය ඊට පිළිතුරු බඳින බවය. එහෙත් එම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවක් ඔහු විසින් සඳහන් කොට නැත. මීට පෙර 2015 දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා වලට බරපතල යුද අපරාධ චෝදනා එල්ල කළ ශ්‍රී ලංකාවට අදාල මහකොමසාරිස් වාර්තාව එදා සිටි විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් ස්තුති පූර්වකව පිළිගන්නා ලදි. කෙසේ වෙතත් මේ වන විට අදාල පිළිතුරු බැඳීම සඳහා විද්වත් කමිටුවක් පත්කොට ඇති බවද වාර්තා වී ඇතත් එහි සාමාජිකයන්ගේ අනන්‍යතාවය හෙළිදරව් වී නොමැත.
අද පවතින තත්වයට සාපේක්ෂව ගත් විට එදා 31/1 යෝජනාව සඳහා පාදක වූ 2015 මහකොමසාරිස් වාර්තාවට වඩා යම් ඉලක්ක සහගත යෝජනා ඉදිරිපත්වී ඇත. එදා වාර්තාව මගින් නිල නොවන වාර්තාවක් වූ දරුස්මාන් වාර්තාව මගින් ඉදිරිපත් කළ අභූත චෝදනා සියල්ල ලයිස්තුගත කොට ඊට නිළභාවයක් ලබා දුනි. නමුත් මෙවර වාර්තාව මගින් මානව හිමිකම් සමුළුවේ සාමාජික රටවලට මෙන්ම ලෝකයේ සෙසු රාජ්‍ය වලටද ඉලක්ක සහිත යෝජනා ඉදිරිපත්කොට ඇත. ඒ අතුරින් යෝජනා තුනක් ප්‍රධාන වේ. පළමුවැන්න පිළිගතහැකි යුද අපරාධචෝදනා වලට ලක් වූ යුදහමුදා නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ දේපල අත්හිටුවීම සහ ඔවුන්ට ජාත්‍යන්තර ගමන් තහනමක් පැනවීමය. එම චෝදනාවල වලංගුභාවය මනින නිර්නායකයන් මොනවාදැයි සඳහන්වී නොමැති අතර ඒ අනුව පැහැදිලි වන්නේ මීට පෙර යස්මින් සුකා වැන්නවුන් රණවිරුවන් 57 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා පත්‍ර නැවත කරළියට පැමිණිය හැකි බවය. දෙවැන්න එම යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමය. තුන්වැන්න එම අධිකරණයට චෝදනා ඉදිරිපත් කිරීම සඳහා චෝදනා ගොනු කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සකස් කිරීමය. ඒ අතර අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට සහ ඊනියා සත්‍ය සෙවීමේ කොමිසම වහාම පිහිටවිය යුතු බවටද අවධරණය කර ඇත.
මෙම තත්වය තුල පැහැදිලි වන්නේ වර්ථමාන රජය විසින් පසුගිය 43 වැනි සැසියේදී ගනු ලැබූ තීන්දුව ආපසු හැරවීමට හෙවත් මානව හිමිකම් තොණ්ඩුව නැවත වටයකින් ශ්‍රී ලංකාවේ ගෙලට දැමීමට ප්‍රභල ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක වන බව නොවේද? පසුගිය 43 වන සැසියේදී ශ්‍රී ලංකාවේ රජය තමා විසින් සම අනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාව ඉදිරියට ගෙන යාම සඳහා එකඟතාවය පල කළ 41/1 යෝජනාවෙන් ඒකපාර්ශවීයව ඉවත් විය. නමුත් ඒ සමගම කළ යුතු දෙවන කාර්යය එනම් 2015 දී 30/1 යෝජනාවට එකඟ වීමට පෙර කළ යුතු වූ එහෙත් එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හිතා මතාම සිදු නොකළ ක්‍රියාව සිදු කිරීමය. එදා 2015 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පිළිබඳ මහකොමසාරිස් වාර්තාව මගින් ආරක්ෂක හමුදාවලට බරපතල මානව හිමිකම් චෝදනා එල්ල කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට එරෙහිව 30/1 යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ දින 15 ක කාලයක් තුලය. එම තත්වය නිසා ශ්‍රී ලංකාවේ රජයට සහ ආරක්ෂක හමුදාවලට ස්වභාවික යුක්තිය අහිමි විය. එනම් තමාට එල්ල වූ චෝදනා වලට පිළිතුරු බැඳීමේ අයිතිය අහිමි විය. නමුත් එවකට පැවති ආණ්ඩුව එම බරපතල චෝදනා සියල්ල ස්තූතිපූර්වකව පිළිගනු ලැබීය.
ඒ අනුව දැන් පැන නැගී ඇති තත්වය තුල තර්කානුකූලව ශ්‍රී ලංකාවේ රජයට ගතහැකි පියවර ඇත්තේ තුනක් පමණි. පළමුවැන්න අවුරුදු හයක් තිස්සේ නොකළ දේ එනම් ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීමය. ඉතා නොදියුණු ගෝත්‍රික නීති පද්ධතියක් ඇති රටක වුවද ස්වභාවික යුක්තිය නැමති මූලධර්මය පිළිගණු ලබන්නේ එම මූලධර්මයට ගරු නොකොට යුක්තියක් ගැන කතා කිරීමට නොහැකි බැවිනි. ඒ අනුව යම් පුද්ගලයෙකුට හෝ සමූහයකට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නේනම් නඩුවක් විභාග කිරීමට පෙර නිදහසට කාරණා ඉදිරිපත් කිරීම සඳහා සාධාරණ කාලයක් ලබා දිය යුතුය. එම අයිතිය අහිමි කිරීම මගින් අදාල පාර්ශවයේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනයවේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය වී ඇති තත්වයක් යටතේ ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග නොගැනීම බලවත් වරදක් බව පැහැදිලිවේ. ඒ අනුව දැන් ශ්‍රී ලංකාවේ රජය කොටු කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්වරිය අටවා ඇති උගුලින් ගැලවිය හැක්කේ වහාම ස්වභාවික යුක්තියට යටත්ව ” විත්තිවාචිකයක්” ඉදිරිපත් කිරීම සඳහා සාධාරණ කාලයක් ඉල්ලා සිටීම මඟින් පමණි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ගත හැකි දෙවන පියවර වන්නේ මහා පින්තූරය සැලකිල්ලට ගැනීමෙන් තොරව මහකොමසාරිස් වාර්තාවේ යම් වගන්ති වලට පමණක් පිළිතුරු බැඳීම මඟින් 2015 දී මෙන් ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් සම්මත කිරීමට අවස්ථාව උදා කිරීමය. ඉහත සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ රජය විසින් විත්තිවාචිකයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඉල්ලා සිටිනු ලැබුවහොත් එසේ නව යෝජනාවක් මෙවර සැසියේදී ඉදිරිපත් කිරීම සාධාරණීකරනය කළ නොහැක. නමුත් මේ වන විට බ්‍රිතාන්‍යය විසින් නායකත්වය දරණ ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන රටවල් කණ්ඩායම විසින් නව යෝජනාවක් කෙටුම්පත්කොට ශ්‍රී ලංකාවේ රජයට ඉදිරිපත් කරන බව වාර්තාවේ. ඒ පිළිබඳව අදහස් දක්වා ඇති විදේශ ලේකම්වරයා සඳහන්කොට ඇත්තේ එම යෝජනාව නිල වශයෙන් ඉදිරිපත් වූ විට ඊට ප්‍රතිචාර දක්වන බවය. එහිදී දැක්විය හැකි ප්‍රතිචාර ඇත්තේ දෙකක් පමණි. පළමු ප්‍රතිචාරය වන්නේ එම යෝජනාවට සම අනුග්‍රහය නොදක්වන බව නිල වශයෙන් දැනුම් දීමය. එවිට ඒකපාර්ශවීයව එය සම්මත කොට ක්‍රියාත්මක කිරීමට මානව හිමිකම් සමුළුවට සිදුවේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ රජය 30/1 යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් නිල වශයෙන් ඉවත් වී ඇති බැවින් මානව හිමිකම් සමුළුවට අවශ්‍යනම් එම යෝජනාව ඒකපාර්ශවීයව ක්‍රියාත්මක කරවීම සිදු කළ හැක. නමුත් ප්‍රායෝගිකව ඔවුන්ගේ පැත්තෙන් වඩා තර්කානුකූල වන්නේ නව යෝජනාවක් ගෙන ඒමය. එසේ නව යෝජනාවක් ඉදිරිපත් වන තත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ රජයට ගත හැකි දෙවන පියවර වන්නේ එම යෝජනාවට යම් සංශෝධන ඉදිරිපත්කොට එනම් අනතුරුදායක වගන්ති ඉවත් කරන ලෙස හෝ සංශෝධනය කරන ලෙස දන්වා ඊට එකඟ වීමය. එම යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම සඳහා සංශෝධන ඉදිරිපත් කරමින් කේවල් කිරීමේදී ශ්‍රී ලංකාවේ රජය තුන්වන ප්‍රවේශයකටද තල්ලු විය හැක. එනම් ශ්‍රී ලංකාවේ රජය විසින්ම යෝජනාවක් ඉදිරිපත් කරන තත්වයක් යටතේ යම් වගන්ති ඉවත් කිරීමට අවස්ථාව ලබා ගැනීමය. එනම් බරපතල යෝජනාවක් ඉදිරිපත්කොට ශ්‍රී ලංකාවේ රජය බිය ගන්වා තමා විසින්ම තමාට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කරන තත්වයකට පත් කිරීමය. එනම් සියතින් තොණ්ඩුව බෙල්ලට දමා ගැනීමට සැලැස්වීමය.
විශේෂයෙන්ම ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීම වැනි යෝජනාවක් ඉවත්කර ගැනීම මගින් ශ්‍රී ලංකාව උගුලට හිර කිරීමේ අවස්ථාව ඇත. ශ්‍රී ලංකාවට හතුරු පාර්ශව පැත්තෙන් ගත් විට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක් පිහිටවීම මගින් ඔවුන්ගේ සැබෑ උවමනාව ඉටුකර ගත නොහැක. කාම්බෝජයට එරෙහිව පිහිටවූ යුද අපරාධ අධිකරණයට චෝදනා ගොනුකොට නඩු කටයුතු පවත්වාගෙන යාමට වසර 14ක් ගත විය. එහෙත් අවසානයේ දඬුවම් කරනු ලැබුවේ වැරදිකරුවන් තුන්දෙනෙකුට පමණි. මෙවර මහකොමසාරිස් වාර්තාව මගින් පිහිටුවීමට යෝජනා කර ඇති චෝදනා ගොනු කිරීමේ ක්‍රියාවලිය සඳහාද වසර කිහිපයක් ගත වනු ඇත. ඒ නිසා ජාතයන්තර අපරාධ අධිකරණයක් පිහිටුවීමේ යෝජනාව වැදගත් වන්නේ ශ්‍රී ලංකාව බිය වැද්දීමේ උපාංගයක් ලෙස පමණි. නමුත් එම බියවැද්දීම මගින් අතුරුදහන් වූවන්ගේ කාර්යාලය කාර්යක්ෂම කිරීම සඳහා සහ සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම මගින් ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩ සලසා ගත හැක. බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සහ ආරක්ෂක හමුදා දුර්වල කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා එම ජාත්‍යන්තර මැදිහත්වීම යොදා ගනු ඇත.
නමුත් දරුස්මාන් වාර්තාව මගින් එල්ල කරනු ලබන අභූත චෝදනා සාධාරණීකරනය කිරීම සඳහා නැවත වටයකින් සාක්ෂි කැඳවීමක් සඳහා ඒ මගින් අවස්ථාව උදාවනු ඇත. බොහෝ විට ඊට විකල්පයක් ලෙස අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මඟින් එසේ චෝදනා ගොණු කිරීමේ ක්‍රියාවලිය තව දුරටත් ශක්තිමත් කිරීමට ඉඩක් ඇත. ඇත්ත වශයෙන්ම පසුගිය රජය විසින් නව නීතියක් මගින් පිහිට වූ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය කාර්යක්ෂමව ක්‍රියාත්මක වූවානම් මේ වන විට ජාත්‍යන්තරව පිළිගන්නා යාන්ත්‍රණයක් වන එම ක්‍රියාවලිය මගින් තෝරාගත් ආරක්ෂක හමුදා නායකයින් පිරිසකට චෝදනා ගොනු කොට අවසන් කිරීමට ඉඩ තිබුණි. ඒ වන විට යස්මින් සුකා ප්‍රමුඛ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන බලඇණිය විසින් ආරක්ෂක හමුදා ඉහළ නිලධාරීන් 57 දෙනෙකුට චෝදනා ගොණුකොට අවසන් බව වාර්තා විය. ඇත්ත වශයෙන්ම අතුරුදන් වූවන් සෙවීම සඳහා කාර්යාලයක් පිහිටුවීමේ මූලික අරමුණවූයේ ඒ වන විටත් ගොනුකොට තිබූ චෝදනා පත්‍ර නීත්‍යානුකූල යාන්ත්‍රණයක් මගින් ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීම මගින් ජාතයන්තර අධිකරණ බලය හමුදා නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීමය.
අතුරුදහන් වූවන්ගේ කාර්යාලය අර්ධ අධිකරණ බලයක් සහිත කොමිසමක් වන බැවින් එහිදී විධිමත්ව විත්ති වාචක ඉදිරිපත් කිරීම සඳහා මෙන්ම සාක්ෂි කරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට චූදිත පාර්ශවයට අවස්ථාව ලැබෙන්නේ නැත. එවැනි යාන්ත්‍රණයක් පිහිටුවනු ලබන්නේ මූලික වශයෙන් එවැනි තත්වයක් නිර්මාණය කිරීමට බව දේශපාලනයේ අයන්න වැටහෙන අයෙකුට තේරුම් ගත හැක.එම කාර්යාලය ශ්‍රී ලංකාවට හතුරු පාර්ශව වලට උවමනා ආකාරයට ක්‍රියාත්මක වූවානම් මේ වන විට ඔවුන් අත තිබූ හමුදා නායකයින්ගේ ලයිස්තුව චූදිතයන් බවට පත් කොට අවසන්වන බවට කිසිදු සැකයක් නැත. එසේ වූවානම් එම චෝදනා මත පදනම්ව ලෝකයේ විවිධ රටවල් වල චූදිතයන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට සහ ඔවුන් පිටුවහල් කරන ලෙස ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා සිටීමට අවස්ථාව ලැබේ. පසුගිය රජය විසින් එසේ පිටුවහල් කිරීම සදහා පහසුකම් සැලසීම මුල්කරගෙන ඒ වන විට පැවති නීතිමය රාමු දෙකක් සංශෝධනයකොට ඊට පහසුකම් සලසනු ලැබීය.
ඊට අමතරව අතුරුදහන්වීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කිරීම මගින් අතීතයට බලපාන ආකාරයට එම චෝදනා මත පදනම්ව නඩු පැවරීමටද අවස්ථාව නිර්මාණය විය. පසුගිය රජය විසින් ඒ ආකාරයට 30/1 යෝජනාව අනුව පනත් 4ක් සම්මත කිරීම මගින් රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කිරීමට කටයුතු කළේය. නමුත් එම ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන අර්ධ අධිඅකරණ කොමිසමක් මගින් චෝදනා අනුමත කිරීම හෝ ගොනු කිරීම සිදු කළ නොහැකි වූ බැවින් එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවට හතුරු පාර්ශව අසමත් විය. ඒ පිළිබඳව ගෞරවය හිමි විය යුතුතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටය. එම පනත සම්මත කිරීමෙන් පසුව එය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා සිටීමට ජාතික සංවිධාන නායකයින් පිරිසක් එතුමා මුණගැසුණු අවස්ථාවේදී එම පනත ක්‍රියාත්මක කිරීමේ බලය මංගල සමරවීර අමාත්‍යවරයාට ලබා නොදෙන ලෙස ඉල්ලා සිටිනු ලැබීය. ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා සඳහන් කළේ අදාල කාර්යාලය තමා යටතේ ගැසට් කර ගන්නා බව සහ ඊට මුදල් ලබාදීම පමා කිරීම මගින් එහි කටයුතු අඩපන කිරීමට තමා පොරොන්දු වන බවය.
එය එසේ සිදුනොවූවානම් අද වන විට අධිකරණයකට චෝදනා ඉදිරිපත් කිරීමක් හෝ අධිකරණයකදී වැරදිකරුවෙකු බවට පත් කිරීමෙන් තොරව යුද්ධයට දායක වූ සියලු හමුදා නායකයින් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කිරීමට අවස්ථාව ලැබේ. ඒ අනුව දැන් නැවැත්වූ තැනින් පටන් ගැනීමට නම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය බලගන්වා නිශ්චිත කාලයක් තුල මේවන විටත් ඉදිරිපත්කොට ඇති චෝදනා පත්‍ර වලට නිළ මද්‍රාව තැබිය යුතුය. ඉහත සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකාවේ රජය විසින්ම ප්‍රති යෝජනාවක් එනම් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කණ්ඩායම විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාවේ පැත්තෙන් යෝජනාවක් ඉදිරිපත්වන තත්වයක් යටතේ එම පොරොන්දුව ලබා ගැනීමට පමණක් නොව ඊට අදාල යාන්ත්‍රණය නිසියාකාරව ක්‍රියාත්මක වන බව සහතික කර ගැනීම සඳහා ක්‍රමවේදයක් හදුන්වා දීමට අවස්ථාව ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ රජය තමා සතු ක්‍රියාමාර්ග ත්‍රිත්වයෙන් තුන්වන ක්‍රියාමාර්ගය එනම් ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කිරීම සිදු කළහොත් එය ඉතා පැහැදිලිවම තොණ්ඩුව තමා විසින්ම ගෙලට දමා ගැනීමක් මිස අන් යමක් ලෙස හැදින්විය නොහැක. මීට පෙර 2018 දී ද ඊනියා ප්‍රතියෝජනා මර උගුලට ශ්‍රී ලංකාව කොටු කිරීම සඳහා උත්සාහයක් ගැනුණු අතර ශ්‍රී ලංකාවේ යම් පාර්ශව ඊට පක්ෂව අදහස් ඉදිරිපත් කිරීමටද ධෛර්යමත් විය. ඔවුන් අතරින් එක් අයෙකු දැන් වර්තමාන රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකි.
ජාතික සංවිධානවල අධ්‍යයනයන්ට අනුව මෙවර ජිනීවා අභියෝගයට මුහුණ දීම සඳහා හෝ අඩුම තරමින් කොමසාරිස්ගේ වාර්තාවට පිළිතුරු බැඳීම සඳහා පත්කොට ඇති බව කියන කමිටුවට එම අමාත්‍යවරයාද අයත්වන බව පෙනේ. ඒ අනුව ආණ්ඩුව ප්‍රතියෝජනා මර උගුලට පය තැබීමේ සම්භාවිතාව වැඩි විය හැක. එම කමිටුව විසින් මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රශ්න වලට ලබා දුන් පිළිතුරු සහ ඇයගේ වාර්තාවට අදාළව පිළිතුරු බැඳීම සඳහා අවශ්‍ය ලේඛණ මේ වන විට අමාත්‍යවරුන් අතට පත්කොට ඇති අතර ඉන් පරිබාහිර පාර්ශව අතටද පත්වී ඇත. ඒවා අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ රණවිරවන් යුද අපරාධ සිදු නොකළ බවට මානව හිමිකම් සමුළුවට ‘’ විත්තිවාචිකයක්’’ ඉදිරිපත් කිරීම මගින් ජිනීවා මර උගුලින් ගැලවීම සඳහා එම කමිටුව විසින් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කොට නොමැති බවය. මේ වන විට විදේශ අමාත්‍යාංශයේ කඳට “පාත් ෆයින්ඩර්” හිසක් සවිකොට ඇති බවට එල්ලවන චෝදනා අනුව එම තත්වය කිසිසේත්ම පුදුමයට කාරණයක් නොවන බවට පැහැදිලිවේ.
ඇත්ත වශයෙන්ම දැනුම්වත්ව එසේ ආණ්ඩුව කැලේ පාරක රැගෙන යාමට කිසියම් බලවේගයක් විසින් කටයුතු නොකරන්නේනම් එවැනි විත්තිවාචකයක් සකස්කොට ඉදිරිපත් කිරීම බරපතල අභියෝගයක් නොවේ. එම ක්‍රියාවලියෙන් 90% ක් දැනටමත් ජාතික සංවිධාන එකමුතුව සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ අනුග්‍රහය ඇතිව නීතිඥ දර්ශන් වීරසේකර මහතාගේ කතෘත්වයෙන් අවසන්කොට ඇත. සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර, රියර් අද්මිරාල් සරත් වීරසේකර, මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ, මාධ්‍යවේදී ෂෙනාලි වඩුගේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න සහ මෙම ලියුම්කරු ඇතුළු විද්වත් කණ්ඩායමක් ඊට දායක විය.
එම ක්‍රියාවලිය 2015 ට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැක්ස්වෙල් පරණගම කොමිසම හරහා ආරම්භ කළ ක්‍රියාවලියේම දිගුවකි. එම කොමිසමේ දෙවන බල අධිකාරිය අනුව කැදවූ ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයින් 5 දෙනෙකු විසින් නිකුත් කළ වාර්තා 6ක් සහ පර්යේෂණ දත්ත මත පදනම්ව එම විත්තිවාචිකය සකස් කරනු ලැබීය. ඒ මගින් ඉතා විස්තීර්ණ ලෙස රණවිරුවන් යුද අපරාධ සිදු නොකළ බවට කරුණමය සහ නීතිමය සාක්ෂි ගොනු කොට ඇති බව ශ්‍රී ලංකාවේ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා සහ එංගලන්තයේ රාජකීය නීතිඥ ජෙෆ්රි නයිස් යන මහත්වරුන් විසින් සහතිකකොට ඇත. එම ලියවිල්ල 2020/11/25 පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදි. එම ලියවිල්ල මේ වන විට ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවට සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් කරන ලේඛනයක් ලෙස ඉදිරිපත්කොට ඇත. දැන් අවශ්‍යවන්නේ එම ක්‍රියාවලිය රජය අතට ගෙන ඉදිරියට ගෙන යාම පමණි. එසේ එල්ලෙන්නට කඹයක් තිබියදී විදේශ අමාත්‍යාංශය ජාත්‍යන්තර මුහුදේ සැඩ පහරකට හසුවීම බරපතල දේශපාලන වරදකි.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...