ඉන්දියාවට පූර්ණ නිදහස ලැබීමට පෙර පිහිටවනු ලැබු තාවකාලික ආණ්ඩුවට එක්වූ ජවහර්ලාල් නේරු ජාතිය අමතා මෙසේ කියා සිටියේය.
”අප විශ්වාස කරන්නේ නිදහස සහ සාමය බෙදා වෙන් කළ නොහැකි බවයි. නිදහස යම් තැනක අහිමි කරනවානම් තවත් තැනකද නිදහස අහිමිවනු ඇත. එය ගැටුමකට සහ යුද්ධයකට තුඩු දෙනවා ඇති. යටත් විජිතයන්ට නිදහස ලබා දිය යුතුයැයි අප කියා සිටින්නේ ඒ නිසාය. අප ඒ රටවල ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා.”
නොබැඳි පිළිවෙත පිළිබඳ සංකල්පය ලොවට අනාවරණය වූයේ එම පණිවුඩය තුළිනි. ඒ අනුව ඉන්දියාව බැඳී සිටි බ්‍රිතාන්‍ය යටත්විජිත ක්‍රමයෙන් ඉවත්ව නොබැඳි පිළිවෙතකට අවතීර්ණ විය.
ඕලන්දයේ යටත් විජිතයක් වූ ඉන්දුනීසියාවේ ස්වාධීනත්වය සඳහා ජවහර්ලාල් නේරුගේ නායකත්වයෙන් ජාත්‍යන්තර සමුළුවක් කැඳවීය. ඉන් පසු 1947 දී නව දිල්ලියේ දී ආසියානු සබඳතා සමුළුවක්ද කැඳවනු ලැබුවේ 1954 කොළඹ සමුළුව සූදානම් කිරීමටයි. ඉන් අනතුරුව 1955දී බැන්ඩුන්වල දී ද පසුව, 1961 දී නොබැඳි ව්‍යාපාරයේ පළමු ජාත්‍යන්තර මහා සමුළුව බෙල්ග්‍රේඩ් නුවර පැවැත්විණ. නොබැඳි ව්‍යාපාරයේ උපත සිදුවූයේ ඒ අන්දමටය.
ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු ඇමෙරිකාවේ නිළ නියෝජිත මණ්ඩල කීපයක්ම අගමැති ජවහල්ලාල් නේරු හමුවීමට පැමිණ ඉන්දියාවේ ආරක්ෂාව සඳහා යුද ගිවිසුමකට සහ ආරක්ෂක සංවිධානයකට ඇමරිකාව හා එක් වන ලෙස ඉල්ලා සිටි බව ඉතිහාසයේ සඳහන් වේ. නේරුගේ ස්ථාවරය වූයේ ඉන්දියානු ජනතාවගේ සහ අනාගත පරපුරේ නිදහස සහ සාමය සහතික කරලිය හැක්කේ නොබැඳි පිළිවෙතේ රැඳී සිටිය හොත් පමණක් බවයි. ඉන්දියාවේ භූමිය තුළ ස්වභාවික සම්පත් සූරාකෑම වළක්වාලිය හැකි වන්නේද නොබැඳි පිළිවෙතේ සිටීමෙන් බව නේරුගේ දැඩි ස්ථාවරය විය.
1945 දී දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝක යුද්ධය මෙහෙය වූ බටහිර බලවතුන් ක්‍රියාත්මක වූයේ නව ලෝක ආර්ථික රටාවක් නිර්මාණය කිරීමටය. එහි නායකත්වය ගත්තේ ඇමරිකාවයි. ලෝක යුද්ධ දෙකටම හේතු වූ ප්‍රධාන සාධකය වූයේ ධනවාදයේ ආර්ථික අර්බුධයයි. ආර්ථික අර්බුධයට දේශපාලන විසඳුම වූයේ යුද්ධයයි.
යළි ලෝක යුද්ධයක් ඇති නොවීම සහතික කරලීම සඳහාවූ අධිරාජ්‍යවාදීන්ගේ උපාය මාර්ගය වූයේ නව ආර්ථික රටාවත්, යුද්ධ ගිවිසුම් සහ යුද ගිවිසුම් සංධානයි.
ඒ අනුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය, “සෙන්ටෝ”, “සියාට”, “ඇන්සස්” ආදී සියලූ රටවල් ආවරණය වන ආකාරයේ සංවිධාන ගොඩ නැඟූහ.
නව නිදහස් රටවල් එම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ සහ අරමුණුවලින් ආරක්ෂා කරලීමට හැකි වූයේ “නොබැඳි ව්‍යාපාරය” නිසාය. අප්‍රිකානු හා ලතින් ඇමරිකානු ජනතාව තුළද අධිරාජ්‍ය විරෝධී හැඟීම් ජනිත කරලීමට හා වර්ධනය කරලීමට දායක වූයේ ද නොබැඳි ව්‍යාපාරයයි.
නොබැඳි ව්‍යාපාරය තුළ ඉන්දියාවේ භූමිකාව අතිවිශිෂ්ඨය, ශ්‍රේෂ්ඨය. යටත්විජිත ක්‍රම බිඳලීමට ලෝක මතය ගොඩ නැඟුවේ නොබැඳි ව්‍යාපාරයයි. කොරියාව, වියට්නාමය, ආරක්ෂා කරලීමට නොබැඳි ව්‍යාපාරය ප්‍රබල ලෙසම දායක විය.
නොබැඳි ව්‍යාපාරය අකර්මණ්‍ය වීම ආරම්භ වූයේ නව ලිබරල්වාදයේ ආගමනයත් සමඟය. ජනාධිපති ජිමී කාටර්ගේ පාළන සමයේදී ඇමරිකාව ලැබූ ප්‍රබල පරාජයන්ට බලපෑවේද නොබැඳි ව්‍යාපාරයයි. රොනල්ඞ් රීගන් සහ මාග්‍රට් තැචර් නව ලිබරල්වාදී උපාය මාර්ගයට දේශපාළන නායකත්වය ලබා දීමෙන් නව නිදහස් රටවල් ආර්ථික වශයෙන් බැඳ තබා ගැනීම ආරම්භ විය. සෝවියට් දේශය බිඳ වැටීම, එම උපාය මාර්ගයට ප්‍රබල රුකුලක් විය. චීනය ආර්ථික වශයෙන් සිටියේ දුර්වල තත්ත්වයකය.
සෝවියට් සංගමය බිඳ වැටීමෙන් අනතුරුව ලෝක බළතුළනය වෙනස් විය. එම සංසිද්ධිය නවලිබරල්වාදය වඩාත් වේගවත් කරලීමට හේතු විය. ඉන්දියාව නව ලිබරල්වාදයට ගොදුරු වීමත් සමඟ නොබැඳි ව්‍යාපාරය තවත් දුරට අප්‍රාණික විය.
21 වන සියවසේ පළමු දශක දෙක තුළ ඇමරිකාව මැදපෙරදිග ලැබූ පරාජය නිසා ඇමරිකාවේ අවධානය යොමු කරනු ලැබුවේ දකුණු ආසියාවටය. එය චීනය ඇතුළු ආසියානු ආර්ථිකය වේගවත් වර්ධනයක් ලබාගත් තත්ත්වය තුළ ඇමරිකාවට ඉන්දියාව වෙත හැරීම හැර වෙනත් මඟක් නොවිය. චීනය, ලෝක ආර්ථිකයේ දෙවන බලවතා වීම ඇමරිකාව තවත් අසීරු තත්ත්වයට පත්විය.
ඉන්දියාව අද සිටින්නේ ප්‍රංශය සහ ජර්මනිය පළමුවන ලෝක යුද්ධයට පෙර සිටින තත්ත්වයේය. ඉන්දියාවේ විශාල වෙළෙඳපොළ ධනපති රටවලට ඇති ආයෝජන මධ්‍යස්ථානයයි. එය හොඳ වෙළෙඳ පොළකි. ඉන්දියාවට නොබැඳි පිළිවෙතින් බැහැරවී පැරණි අධිරාජ්‍යවාදී රටවල් සමඟ සහයෝගිතාවයකට එක්වීමට බල කරනු ලැබ තිබේ. නරේන්ද්‍ර මෝදිගේ ආගමනය ඊට අවශ්‍ය මනෝමූලික තත්ත්වයන් සැපයුවේය.
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් දියත් කරන ලද ඉන්දු-පැසිෆික් උපාය මාර්ගික ව්‍යාපෘතිය ඉන්දියන් සාගරය කලාපයේ අධිරාජ්‍යවාදී ග්‍රහණයට ලක් කර ගැනීමට ඇට වූ උගුලකි. නරේන්ද්‍ර මෝදි එම උපාය මාර්ගයට එක්වුණේ එරට ඉහළ ධනපති පන්තියේ බලපෑම උඩය. නේරුගෙන් පසු ඉන්දියාවේ බලයට පත් නව පරම්පරාවට අයත් මෝදී නව ලිබරල්වාදයේ නිර්මාණයකි. වත්මන් ගොවි අරගලය මතු වී ඇත්තේ නව ලිබරල්වාදයට එරෙහි අරගලයක් වශයෙනි.
අධිරාජ්‍යවාදයේ ආගමනයට පෙර ඒකාධිකාරී ධනවාදී සංවර්ධන අවධියේ සිට ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවල් සිටි අවධියේ අද ඉන්දියාව පසුවන බව කිව හැකිය. ශ්‍රී ලංකාවේ වරාය හා ගුවන්තොටුපල ආයෝජනය කිරීමට අද අදානි කොම්පැනිය ඉදිරිපත්ව සිටින්නේ භූ දේශපාලන අවශතාවයන් සඳහාය.
“ඉන්දු-පැසිෆික්” ව්‍යාපෘතිය යටතේ ඇමරිකාව MCC ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළේද එම භූ දේශපාලන අවශ්‍යතාවයන් සඳහාමය.
අපේ රටේ ධනේශ්වර දේශපාලන පක්ෂ මේ සියුම් උපක්‍රම ඔස්සේ විවිධ ආයෝජන ඉදිරිපත් කෙරෙන විට, ඒවායේ දීර්ඝකාලීන බලපෑම් දකින්නේ නැත. තේරුම් ගන්නේ ද නැත. යහපාලන රජය සමයේ ඉටුකර ගැනීමට බැරි වූ දේ, නව ආණ්ඩුව යටතේ ඉටු කරවා ගැනීමට සියුම් උපක්‍රම යොදති.
මෙවැනි ව්‍යාපෘති දෙරටේම පොදු ජනතාවට අනාගතයේදී බලපාන්නාවූ යෝජනාය. එම ප්‍රශ්න දෙරට අතර මිත‍්‍රත්වයට අදාළ ප්‍රශ්න වශයෙන් සැලකිය යුතු නොවේ. ඒවා රටක ස්වාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයි. ස්වාධිපත්‍යයට, පරමාධිපත්‍යයට, බලනොපාන්නාවූ ආයෝජන තෝරා ගැනීමට බාධාවක් නැත.
යුද්ධ උපාය මාර්ගවලට අදාළ වන්නා වූ යෝජනාව පැහැදිලිව භූ දේශපාලනයට බලපාන්නාවූ යෝජනාය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති මිත්‍ර සබඳතාවට බලපා ඇති යෝජනා ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිය යුතුය.
කොම්පැනියක කොටස්වලින් 49%ක් ලබාදීම අයිතියක් ලබාදීම නොවේ යැයි තර්ක කරන්නේ කෙසේද? අදානි කොම්පැනිය මෝදි අගමැති ඉදිරිපත් කර ඇති ආයෝජකයාය. ඔහු මෝදිගේ දේශපාලන උදව්කාරයාය. මුදල් සපයන්නාය. ඉන්දියාවේ විපක්ෂය මෙය කෙසේ තේරුම් ගනියිද? එක් පැත්තකින් විවෘත ටෙන්ඩර් මාර්ගයෙන් කොටස් ලබාදිය යුතුයැයි කියා සිටින ඇමෙරිකානු තානාපතිනිය “අදානි” කොම්පැනියට කොළඹ වරාය ලබාදෙන ලෙස ඉල්ලා සිටි. පරස්පර විරෝධී තත්ත්වයකි.
ඉන්දියාව තවදුරටත් නොබැඳි ව්‍යාපාරයේ රටක් නොවේ. එය අධිරාජ්‍යවාදී කඳවුරට සෘජුව හෝ වක්‍රව එක්වී තිබේ.
මහබලවතුන්ගේ පොරයට ශ්‍රී ලංකාව මැදිහත් නොවී සිටීම සහතික කළ යුතුය.
1950 ගණන්වල “සියාටෝ” “සෙන්ටෝ” සංවිධානවලට එක්වීම නේරු විවෘත ලෙස ප්‍රතික්ෂේප කළේය. එම ප්‍රෞඩ ඉතිහාසය, අධිරාජ්‍ය විරෝධී ස්ථාවරය නොතකා ඉන්දු-පැසිෆික් සංවිධානයට එක් වී තිබේ. ඊට ශ්‍රී ලංකාව වක්‍රව ඈඳා ගැනීම වරාය හරහා ගනු ලබන උත්සාහයකි.
(ඇත්ත පුවත්පතේ දේශපාලන ලියුම්කරු}
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...