පුරවැසි කොලම

ඊයේ මාර්තු මස 02 වැනි දින භාෂා දිනයයි:

ඉන්දියාව විසින් අපට 1987 දී බලහත්කාරයෙන් පැටවූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් ලෙස ව්‍යවස්ථාවට එක් කිරීම තුළ රාජ්‍ය භාෂා දෙකක් ඇති බැවින් කුමන භාෂාවේ වගන්තිය ද යන ගැටලූවක් පැන නැ`ගී ඇත. (13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 2 (ආ) (2) ‘‘දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේ ය.’’) 13 වැනි සංශෝධනය මගින් සිංහල භාෂාවට තිබුණ තැන අහිමි කිරීම සඳහා අසාධාරණ ලෙස කටයුතු කර ඇත්තේ දේශීය මූලයක් ඇති එකම භාෂාව වශයෙන් ද, සිංහල බහුතරයේ මෙන්ම රටේ බහුතරයක් භාවිත කරන භාෂාව හා සමානව විදේශීය භාෂාවට සම තැන ලබාදීමෙනි. මෙය තවත් ලෙසකට අර්ථ දැක්වුව හොත් 13 වැනි සංශෝධනයෙන් උතුරු සහ නැගෙනහිර පළාත් දෙක එක් කිරීම සහ එය දෙමළ නිජභූමිය යන මිථ්‍යාවට අනියම් ආකාරයෙන් ඵෙතිහාසික පසුබිමක් සකස් කරන වගන්තියකි. අප රටේ ස්වෛරී භාවය, අනන්‍යතාව, නෙැබැඳි විදේශ ප‍්‍රතිපත්ති නොතකා බලය සඳහා පමණක් කටයුතු කිරීමේ එවක පාලකයන්ගේ අදූරදර්ශී බව රට අද ද අර්බුදයකට ඇද දමා ඇත.

රටක අනන්‍යතාව භාෂාව හා අත්‍යන්තව සබැඳිව පවතී. සිංහල බස අප රටේ ජනතාවගෙන් 75%ක් වන සිංහලයන්ගේ මව් බස වන අතර, දෙමළ බස පළමු බස වශයෙන් සලකන දෙමළ සහ මුස්ලිම් ජනතාව ද සිංහල බස දෙවන බස වශයෙන් 15%ක් ව්‍යවහාර කිරීම අනුව රටේ ජනතාවගෙන් 90%ක් සිංහල භාෂාව සමග බැඳී සිටිති.

ඉන්දු ආර්ය බසක් වන සිංහල බස වහරන සිංහලයන් වාසය කරන රට සිංහල දේශයයි. ඒ ආකාරයෙන්ම ද්‍රවිඩ භාෂාව වන දෙමළ බස (තමිළ් මොලි) කතා කරන දෙමළ (තමිළ්) ජනතාවගේ රට “දෙමළ රට” නොහොත් “තමිල්නාඩුව” වෙයි. පාරම්පරිකව ඉංග‍්‍රීසි බස මව් භාෂාව කරගත් ඉංග‍්‍රීසීන්ගේ රට ඉන්ග්ලන්ඞ් හෙවත් එංගලන්තයයි. මේ අනුව ලෝකයේ ඓතිහාසික සෑම රාජ්‍යයකම එම රටේ සංස්කෘතිය ගොඩනැගූ සුවිශේෂී ජාතියත්, ඔවුන්ගේ භාෂාවත් රටේ නමත් සමානව එකට එකක් බැඳී පවතී. එය ආසියාතික බංගලිදේශය, ජපානය, මලයාව ආදී රටවල් පිළිබඳ සැලකුව ද, යුරෝපීය ප‍්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය ආදී රටවල් පිළිබඳ සැලකුව ද එකම පොදු ලක්ෂණයකි.

අද ශ‍්‍රී ලංකා නමින් හැඳින්වුව ද අපට පාරම්පරිකව උරුම වූ දේශයේ නාමය “සිංහලේ” යි. 1815 දී උඩරට ගිවිසුමෙන් අප බි‍්‍රතාන්‍යයට භාර දුන්නේ ද “සිංහලය” නමින් සඳහන් කළ අපේ දේශයයි. එහෙත් අපට 1948 නිදහස ලබන විට ලැබුණේ “ලංකා” නම් වෙනත් නාමයකින් යුත් රටකි. එය පැහැදිලිවම යටත් විජිතවාදීන් අනාගතයේදී අප දේශයේ අනන්‍යතාව අහිමි කිරීමට ගත් සැලසුම් සහගත කුමන්ත‍්‍රණයක් බව ඉතා පැහැදිලිය. 1972 නව ජනරජ ව්‍යවස්ථාවෙන් මෙය නිවැරදි විය යුතු වුවත් එහි දී “ලංකා” යන නාමයට පූර්වයෙන් “ශ‍්‍රී” අක්ෂරයක් එක් කරනු ලැබීම කුමන අරමුණෙන් ද යන්න පැහැදිලි නොවේ. ඇත්ත වශයෙන්ම ශ‍්‍රී ලංකාව හඳුන්වන නම් රාශියක් ඇත. “සිංහලය” හෝ “සිංහල දේශය” යන්නට විදේශිකයන් භාවිත කළ තැප්‍රෝබෙන්, සෙරන්ඩිබ් මෙන්ම “සිංහලයෙන්” නිෂ්පන්න වූ සෙයිලාන්, සීලාන්, සීලොන්, සීලදීප, හෙළ වැනි වචන ද රත්නදීප, ධර්මදීප වැනි පර්යාය පද ද, පෙරදිග මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය වැනි නාම ද රැසක් වන අතර අතීතයේ දී “ලංකා” යන නමින් භාවිත වූ එහි අර්ථය වනුයේ “දූපත” යන්න බව විද්වත් මතයයි. මේ සියලූ නාමකරණවලට වඩා අප රටේ අනන්‍යතාව රැකෙන නම “සිංහලය” යන නාමයමය.

ඉන්දියාව යනු රටක් වශයෙන් හැඳින්වුව ද රටවල් සමූහයක් එක් වීමෙන් සැදුන සමුහාණ්ඩුවක් හෙවත් සන්ධීය පාලනයක් ඇති බළවත් රටකි. එහි ඉහළින් මධ්‍යම රජයක් තිබෙන අතර සන්ධීය පාලන ක‍්‍රමය යටතේ ප‍්‍රාන්ත රාජ්‍යවලට එක්තරා ප‍්‍රමාණයකට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව ඇත. ඉන්දියානු සමුහාණ්ඩුව රටවල් 28කින් සහ ස්වාධීන බල ප‍්‍රදේශ 8කින් සමන්විත වන අතර තමිල්නාඩුව ඒ අතර එක් ප‍්‍රාන්ත රාජ්‍යයක් පමණි.

තමිල්නාඩුව ශ‍්‍රී ලංකා භූමිය මෙන් දෙගුණයක් විශාල වන අතර, ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් බහුතරය 74.7%ක් “සිංහලයන්” වන අතර එය සමස්ත ලෝකයේ මිලියන 16 පමණ වේ. සමස්ත ඉන්දියාවේම සිටින දෙමළ ජන සංඛ්‍යාව මිලියන 69ක් වන අතර, එය ඉන්දීය ජනගහනයෙන් 5.89%කි. ලෝකයේම සිටින දෙමළ ජන සංඛ්‍යාව මිලියන 76ක් පමණය. ඒ අනුව සිංහලයන් මෙන් පස් ගුණයක දෙමළ සංඛ්‍යාවක් ලෝකයේ වාසය කරති. ලෝකයේ භාෂා ව්‍යවහාරය අනුව ශ්‍රෙණිගත කළ විට ලෝකයේ දෙමළ බස 15 වැන්නටත් සිංහල බස 62 වැන්නටත් ස්ථානගතව ඇත. ඒ අනුව ගෝලීය වශයෙන් දෙමළ බහුතරයක් වන විට සිංහල සුළුතරයකි. එහෙත් දෙමළ රටේ නැතහොත් තමිල්නාඩුවේ දෙමළ බසට රාජ්‍ය භාෂා තත්ත්වය අහිමිව ඇත්තේ එය ශ‍්‍රී ලංකාව මෙන් ස්වෛරී රාජ්‍යයක් නොවී ඉන්දීය සමූහාණ්ඩුවේ ප‍්‍රාන්තයක් වීම නිසාය. එබැවින් දෙමළ බසට ඉන්දියාව තුළ ඇත්තේ තමිල්නාඩු ප‍්‍රාන්තය, පුදුචෙරි සහ ඇරොවිල් කුඩා ස්වාධීන බල ප‍්‍රදේශ 2ක් තුළ හුදු නිල භාෂා තත්ත්වයන්ය.

දෙමළ ජනයා ලෝකයේ රටවල් ගණනාවක පැතිර සිටිය ද, සිය ජනවර්ගයෙන්ම පැවෙතෙන තැනැත්තියක ඇමෙරිකාව වැනි බලවත් රටක උප ජනාධිපති වැනි ධුරයක කටයුතු කරනු ලැබුව ද, ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක දෙමළ භාෂාවට ජාතික, රාජ්‍ය, නිල, සුළු ජන ආදී තත්ත්ව ලැබුණ ද, දෙමළ ජනතාවට ස්වාධීන රාජ්‍යයකට හිමිකමක් නොමැති වීම තම නිජභූමිය තුළ එනම් තමිල්නාඩුව තුළ රාජ්‍ය භාෂා තත්ත්වය අහිමිව යෑම මෙන්ම, හින්දි භාෂාව සමස්ත ඉන්දියාවේම ප‍්‍රමුඛ භාෂාව වශයෙන් පිළිගැනීමට ඇති අකැමැත්ත වැනි කරුණු මත, දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව ඈත අතීතයේ සිට, එනම් ඉන්දියාව නිදහස ලැබීමට පෙර සිටම උතුරු ඉන්දීය ආර්ය බස ව්‍යවහාර කරන ජනයා සමග යහපත් සබඳතා පවත්වා ගැනීමට අපොහොසත්ව ඇත. එය තවත් ආර්ය භාෂාවක් වන සිංහල භාෂාවට මෙන්ම සිංහල ජනතාවට එලෙසින්ම පොදු බව පැහැදිලිය.

මෙම භාෂා ගැටලූව පිළිබඳ නිවැරදිව අවබෝධ කරගැනීමට නම් ඉන්දියානු ව්‍යවස්ථාවේ භාෂාව සම්බන්ධයෙන් ඇති විධිවිධාන පිළිබඳ අවබෝධය ජන සංඛ්‍යා ලේඛන සමග සැසඳිය යුතුය. විවිධ ජන වර්ග, ආගම් හා භාෂා ආදියෙන් සංකීර්ණ වූ ඉන්දියාවේ වැඩිම ජනගහනයක් භාවිත කරන භාෂාව හින්දි භාෂාවයි.

2011 ඉන්දීය ජනසංගණනය අනුව සමස්ත ජනගහනයෙන් හින්දි භාෂාව පළමු බස වශයෙන් 43.63%ක් වන අතර, දෙවන හෝ තෙවන බස වශයෙන් වන භාවිතයත් සමග සලකන කල 57.09%ක් වේ. (ඉන්දියාවට ජාතික භාෂාවක් නොමැති වුවද) ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 343(1) වගන්තියේ විශේෂයෙන් සඳහන් වන්නේ ‘‘දේවනාගරි අක්ෂරයෙන් ලියවෙන හින්දි සමූහාණ්ඩුවේ නිළ භාෂාව වේ’’ යනුවෙනි. එමෙන්ම සමූහාණ්ඩුවේ නිළ කටයුතු සඳහා භාවිත කළ යුතු සංඛ්‍යා ඉන්දියානු ඉලක්කම්වල ජාත්‍යන්තර ආකෘතියට අනුව විය යුතු ය. ඉන්දියානු පාර්ලිමේන්තුවට කටයුතු කළ හැක්කේ හින්දි හෝ ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණි. පාර්ලිමේන්තු කටයුතු, අධිකරණය, මධ්‍යම රජය හා ප‍්‍රාන්ත රාජ්‍ය අතර සන්නිවේදන කටයුතු සඳහා ඉංග‍්‍රීසි භාවිත කිරීමට හැකිය. ඉන්දියානු ගුවන් ගමන් බලපත‍්‍ර හින්දි සහ ඉංග‍්‍රීසි භාෂාවලට පමණක් සීමා වී ඇති බවද සැලකිය යුතු විශේෂ කරුණකි. මෙම නෛතික පසුබිම මත දෙමළ බස ඉන්දීය නිළ කටයුතුවල දී සීමිත භාවිතයකට පමණක් වන බව ඉතා පැහැදිලිය.

ඉන්දියාවේ ප‍්‍රාන්ත රාජ්‍යවල නීති සම්පාදනයට ඇති ප‍්‍රතිපාදන අනුව තම නිළ භාෂාව (හෝ භාෂා) නියම කරගැනීමේ නිදහස සහ බලය ඇත. එම නිළ භාෂාවන්ට අමතරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඉංග‍්‍රීසි හැර හින්දි භාෂාව ද ඇතුළත් කලාපීය භාෂා 22ක් කාර්ය සටහන්ගත භාෂා ලෙස හඳුනාගෙන තිබේ. මෙය සමූහාණ්ඩුවේ නිළ භාෂා තත්ත්ව සමග පටලවා නොගත යුතු අතර ව්‍යවස්ථාවේ මේ භාෂා භාවිතය පිළිබඳ සවිස්තරාත්මකව සඳහන්ව ඇත.

සිංහල ජනතාවට තමන්ටම අයත් ස්වෛරී රාජ්‍යයක් තිබීම හා බහුතර සිංහල ජනතාව ප‍්‍රමුඛ සබැඳි රාජ්‍ය යාන්ත‍්‍රණයක් තිබීම දෙමළ ජනතාවගේ සිත් රිදවන සාධාරණ කරුණක් බව සත්‍ය කරුණකි. දෙමළ ජනතාවට තමන්ට කියා ස්වාධීන රටක් නොමැති වීම කෙතරම් ද යත් 1988 දී දෙමළ ප්ලොට් ත‍්‍රස්තවාදීන් මාලදිවයිනට ප‍්‍රහාර එල්ල කර කුමන්ත‍්‍රණයක් මගින් මාලදිවයින දෙමළ රාජ්‍යයක් බවට පත් කිරීමට ගත් අසාර්ථක උත්සාහය ඔවුන්ට ස්වෛරි රාජ්‍යයක් නොමැති වීමේ අසහහනය පෙන්නුම් කරන අවස්ථාවකි. අනාගතයේ දිනක “තමිළක්ම්” නම් දෙමළ අධිරාජ්‍යයක සිහිනයක් ද තිබේ.

ශ‍්‍රී ලංකාවේ ඇතැම් අන්තවාදී ද්‍රාවිඩ (දෙමළ) අන්තවාදී පිරිස් සාධාරණ සිංහල භාෂා අයිතියට එරෙහිව කටයුතු කරන ලෙසින්ම ඉන්දියාවේ ද හින්දි භාෂාවට එරෙහිව කටයුතු කරති. එය ඉන්දියාව බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබීමට පෙර යුගයේ සිට සිදුවන්නකි. 1937 දී පළමු වැනි ඉන්දීය ජාතික කොංග‍්‍රස් රජය මගින් මදුරාසි ප‍්‍රදේශිකයේ අගමැතිවරයා (වර්තමාන තමිල්නාඩු මහඇමැති ධුරයට සමාන) වශයෙන් සී. රාජගෝපාලචාරි (රාජාජී) පාසල්වලට හින්දි භාෂාව අනිවාර්ය කර ඉගැන්වීමට කටයුතු කළේ ය. එයට එරෙහිව පළමු භාෂා විරෝධී උද්ඝෝෂණ ඊ. වී. රාමසාමි (පෙරියාර්) විපක්ෂයේ පිරිස් සමග එක්ව වසර 3ක් පුරා කරන ලද විවිධාකාර ක‍්‍රියාකාරකම් මගින් නතර කර ගනු ලැබීය. එමෙන්ම “දක්ෂිණ භාරත් හින්දි ප‍්‍රචාර් සභා” නම් විශ්වවිද්‍යාලයක් මගින් දක්ෂිණ භාරතයේ හින්දි ඉගැන්වීම සඳහා මහත්මා ගාන්ධිතුමන් ද කටයුතු කළ ද එය ද අසාර්ථක උත්සාහයක් විය. තමිල්නාඩු දෙමළ ජනයා තම දේශයේම බහුතරයකගේ භාෂාව වූ හින්දි භාෂා විරෝධය අද ද එක ලෙසින්ම පවතී.

භාෂාව පිළිබඳ වත්මන් අප රටේ ව්‍යවස්ථාවේ එනම් ව්‍ය.ව. 1978 දී සම්මත වූ දෙවන ජනරජ ව්‍යවස්ථාවේ 4 වැනි පරිච්ඡේදයේ 18 වැනි වගන්තියේ “ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේ ය.” යනුවෙන් ද, 19 වැනි වගන්තියේ “සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ‍්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ ය” යනුවෙන් ද සඳහන් වෙයි. තවදුරටත් සිංහල සහ දෙමළ භාෂා දෙකම පාර්ලිමේන්තුවේ හා පළාත් පාලන ආයතනවල භාවිතය, නීති පැණවීමේ මෙන්ම ඉගැන්වීමේ ද මාධ්‍යය වේ.

1978 ව්‍යවස්ථාවේ 23(1) වගන්තියෙන් නීති පැණවීමේ භාෂාව මෙසේ අර්ථ දක්වා ඇත.

‘‘සියලූම නීති සහ අනුනීති පැණවීම නැතහොත් සෑදීම ද එකී සියලූම නීති සහ අනුනීති පළ කිරීම ද, ඉංග‍්‍රීසි භාෂාවෙන් වූ පරිවර්තනයක් ද ඇතිව ජාතික භාෂා දෙකෙන්ම විය යුත්තේ ය. පදමාලා දෙකක් අතර යම් අනනුකූලතාවක් ඇති වුව හොත් රාජ්‍ය භාෂාවෙන් වූ පදමාලාව බල පැවැත්විය යුතුය.” යනුවෙනි. මෙම ව්‍යවස්ථාව සම්පාදනයේ දී රාජ්‍ය භාෂාව වූයේ සිංහල භාෂාව පමණක් බැවින් නීති-අනුනීති සම්පාදනයේ දී යම් ගැටලුවක් මතු වූයේ නම් ඉතා පැහැදිලිව සිංහල භාෂාවේ පදමාලාව (වගන්තිය) පිළිගත යුතු බව ඉතා පැහැදිලිය.

එහෙත් ඉන්දියාව විසින් අපට 1987 දී බලහත්කාරයෙන් පැටවූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් ලෙස ව්‍යවස්ථාවට එක් කිරීම තුළ රාජ්‍ය භාෂා දෙකක් ඇති බැවින් කුමන භාෂාවේ වගන්තිය ද යන ගැටලූවක් පැන නැගී ඇත. (13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 2 (ආ) (2) ‘‘දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් වන්නේ ය.’’) 13 වැනි සංශෝධනය මගින් සිංහල භාෂාවට තිබුණ තැන අහිමි කිරීම සඳහා අසාධාරණ ලෙස කටයුතු කර ඇත්තේ දේශීය මූලයක් ඇති එකම භාෂාව වශයෙන් ද, සිංහල බහුතරයේ මෙන්ම රටේ බහුතරයක් භාවිත කරන භාෂාව හා සමානව විදේශීය භාෂාවට සම තැන ලබාදීමෙනි. මෙය තවත් ලෙසකට අර්ථ දැක්වුව හොත් 13 වැනි සංශෝධනයෙන් උතුරු සහ නැගෙනහිර පළාත් දෙක එක් කිරීම සහ එය දෙමළ නිජභූමිය යන මිථ්‍යාවට අනියම් ආකාරයෙන් ඵෙතිහාසික පසුබිමක් සකස් කරන වගන්තියකි. අප රටේ ස්වෛරී භාවය, අනන්‍යතාව, නොබැඳි විදේශ ප‍්‍රතිපත්ති නොතකා බලය සඳහා පමණක් කටයුතු කිරීමේ එවක පාලකයන්ගේ අදූරදර්ශී බව රට අද ද අර්බුදයකට ඇද දමා ඇත.

සිංහල භාෂාවට ඇති ස්ථානය වෙනන් විදේශීය මූල නැති බසකට පැවැරු එම දේශපාලනඥයන් එයින් නොනැවතී, ශ‍්‍රී ලංකා දිවයිනට බලපැවැති සිංහල භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය සිඳ දැමුවේ 1988 ව්‍යවස්ථාවට එක් කළ 16 වැනි සංශෝධනයෙනි. 1978 වැනි ව්‍යවස්ථාවේ 22(1) වගන්තිය යටතේ පරිපාලන භාෂාව මෙසේ සඳහන් වේ.

‘‘රාජ්‍ය භාෂාව ශ‍්‍රී ලංකාව මුළුල්ලේම පරිපාලන භාෂාව වන්නේ ය.’’

‘‘එසේ වුව ද උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ රජයේ ආයතන විසින් පොදු වාර්තා තබාගැනීම සඳහා සහ සියලූ කටයුතු ඉටු කිරීම සඳහා පරිපාලන භාෂාව වශයෙන් දෙමළ භාෂාව ද භාවිත කළ යුත්තේ ය.’’

එහෙත් 1988 දෙසැම්බර් 17 වැනි දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල සිංහල භාෂා භාවිතය වචන හරඹයක් මගින් නොමග යවමින් මෙසේ සංශෝධනය කර ඇත. ‘‘22(1) සිංහල සහ දෙමළ භාෂා ශ‍්‍රී ලංකාව මුළුල්ලේම පරිපාලන භාෂා විය යුත්තේය. රජයේ ආයතන විසින් පොදු වාර්තා තබාගැනීම සඳහා හා සියලූ කටයුතු ඉටු කිරීම සඳහා දෙමළ භාෂාව භාවිත කරන උතුරු සහ නැගෙනහිර පළාත් හැර, ශ‍්‍රී ලංකාවේ සියලූම පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුතු අතර, ඒ පළාත්වල රජයේ ආයතන විසින් පොදු වාර්තා තබාගැනීම සඳහා සහ සියලු කටයුතු ඉටු කිරීම සඳහා සිංහල භාෂාව භාවිත කළ යුතුය.

මේ අනුව ඉතා පැහැදිලි වනුයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල තවදුරටත් සිංහල භාෂාව පරිපාලන භාෂාව නොවන බවය. මෙලෙසම උතුරු සහ නැගෙනහිර පළාත්වල අධිකරණ භාෂාව ද දෙමළ භාෂාව වී ඇත. උතුරු සහ නැගෙනහිර පළාත් යනු ඓතිහාසික වශයෙන් සිංහල රාජ අනුග‍්‍රහයෙන් ගොඩනැංවූ වෑව් දාගැබ් ආදී සිංහල බෞද්ධ සංස්කෘතිකාංග වැඩි වශයෙන් අපට හමු වන ප‍්‍රදේශයයි. එහෙත් මේ වන විට උතුරු සහ නැගෙනහිර සිංහල භාෂා අයිතිය සහමුලින්ම නැති කර එම ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථාන විනාශ කරමින් එම ඓතිහාසික අයිතිය සිංහල ජනයාට අහිමි කිරීමය.

මේ වන විට නව ව්‍යවස්ථාවක් සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව ඒ පිළිබඳ කටයුතු කරමින් සිටී. එයට පසු එය ව්‍යවස්ථාදායක සභාවක් වෙත යොමු කරනු ඇත. එබැවින් නැතිව ගිය සිංහල භාෂා අයිතිය නව ව්‍යවස්ථාව මගින් තහවුරු කරගැනීමට කටයුතු කිරීම සාධාරණය අගය කරන සියලූ ජනයාගේ වගකීමකි.

(පානි වෑවල – දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More