රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සිදු වී පසුගිය පෙබරවාරි 27 වැනිදාට වසර හයක් සම්පූර්ණ විය. ඇත්තවශයෙන්ම බැඳුම්කර මගඩිය යනුවෙන් අප හඳුන්වන්නේ 2015.02.27 දින බැඳුම්කර වෙන්දේසියේ දී සිදු වූ වංචාවක් පමණක් නොවේ. එය එදිනෙන් ආරම්භ වී සිදු වූ වංචනික ක‍්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය. මේ තොරතුරු බොහොමයක් ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභා සාක්ෂි විභාගයන්හි දී මෙන්ම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී ද අනාවරණය විය. මේ නිසා එය හුදෙක් යහපාලන රජය සමයේ සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව ලෙස හැඳින්වීමෙන් වන්නේ මේ මගඩියේ බරපතලකම හෑල්ලූවට ලක් වීමයි. මේ බැඳුම්කර මගඩියේ පැතිකඩ රැුසක් ඇති අතර ඒ සියල්ල බැඳුම්කර ජනාධිපති කොමිසමේ දී විමර්ශනයට ලක් නොවූ බව ද අපගේ අදහසයි. එම යහපාලන රජයේ බැඳුම්කර විමර්ශන මත පමණක් පදනම් වී මේ රජය ද නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නේ නම් එමගින් මේ මගඩියෙන් මහජනයාට සිදු වූ අගතියට පූර්ණ යුක්තිය ඉටු වනු ඇතැයි අපට සිතීමට අපහසුය. කෙසේ හෝ 2015.02.27 යනු පසුගිය රජය යටතේ සිදු වූ බැඳුම්කර මගඩිය සිදු වූ ප‍්‍රශ්නගත පළමු බැඳුම්කර වෙන්දේසිය සිදු වූ දිනය ලෙස හඳුන්වා දිය හැකිය. ඒ අනුව මේ කුප‍්‍රකට මගඩිය ආරම්භ වූ දිනයේ සිට 2021 පෙබරවාරි 27 දින වන විට පුරා වසර හයක් සම්පුර්ණ වී ඇත. මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මේ වන විට බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ප‍්‍රකාරව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩල තුනක් යටතේ මේ සඳහා වෙන වෙනම නඩු තුනක් පවරා ඇත. එය ද එක අතකට සතුටට කරුණකි. එහෙත් අපට පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ මේ මගඩියට අදාළව නීතිමය ක‍්‍රියාමාර්ග ගනු ලබන්නේ පසුගිය යහපාලන රජය යටතේ සිදු වූ විමර්ශනවලට අදාළව පමණක් බවයි. ඒ නිසා මේ මගඩියට චෝදනා එල්ල වූ දේශපාලන මහමොලකරුවන් මේ ආණ්ඩුව විසින් ද රකින බවට බරපතල සැකයක් ජනිත වී තිබේ. මේ පසුබිම තුළ බැඳුම්කර මගඩියට වසර හයක් සම්පූර්ණ වීම ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.
පසුගිය යහපාලන රජය සමයේ සිදු වූ බරපතලම අපරාධ දෙක නම් මහ බැංකුවේ බැඳුම්කර මගඩිය සහ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයයි. යහපාලන රජය පත් වී පළමු වසරේම බැඳුම්කර මගඩිය සිදු වූ අතර පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදු වූයේ යහපාලනයේ අවසන් වසරේ (2019) දීය. මේ අපරාධ දෙකම පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම පසුගිය මහ මැතිවරණයේ දී පැවති යහපාලන රජය පරාජයට පත් වීමට ප‍්‍රබල ලෙසම හේතු වූ බවට කිසිම සැකයක් නැත. මේ නිසා අප විශ්වාස කරන්නේ වත්මන් රජය බලයට පත් වූ එම ජනවරමේ පැහැදිලි මහජන අපේක්ෂාවක් වන්නේ එම අපරාධ දෙකට වගකිව යුතු සියල්ලන්ට නීතිය ක‍්‍රියාත්මක කිරීමයි. මේ දිනවල අගරදගුරුතුමන් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහමොලකරුවන් ගැන ප‍්‍රශ්න කරයි. එය ඉතාම අවශ්‍ය දෙයකි. එසේම බැඳුම්කර මගඩියේ දේශපාලන මොළකරුවන් ද ගැන ද අප ප‍්‍රශ්න කළ යුතුමය. මේ රජයේ අයට එය අමතක කළ නොහැකිය. බැඳුම්කර මගඩිය සිදු වූ යහපාලනය මේ රටේ අති මහත් බහුතර ජනතාව විසින් පසුගිය ජනාධිපතිවරණයේදී හමාර කළේය. ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ පාලනය ආරම්භ වී මේ වන විට සැලකිය යුතු කාලයක් ගතව වී තිබුණත් අපට පෙනෙන්නේ යහපාලන රජය සමයේ සිදු වූ බැඳුම්කර විමර්ශන කටයුතු හැර නව විමර්ශන ක‍්‍රියාවලියක් සිදු නොවන බවයි. මේ තුළින් මේ මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දේශපාලන මහමොලකරුවන්ට නීතියෙන් ගැලවී සිටීමට මේ දක්වා හැකිව තිබෙන බව පෙනේ. හිටපු යහපාලකයන් මේ මගඩිය වසන් කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරද්දී එදා බැඳුම්කර කොල්ලය ගැන උදේ හවා කියමින් මෙහි උපරිම දේශපාලන වාසිය ගත්තේ එදා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ වත්මන් රජයේ අයයි. ආර්ථිකයට විශාල හානියක් සිදු කළ සංවිධානාත්මක අපරාධයක් වූ මේ කුප‍්‍රකට බැඳුම්කර මගඩිය ආරම්භයේ සිටම සිදු කළ සියලූ විමර්ශන බොහෝ දුරට හොරු අල්ලනවාට වඩා හොරු රකින සහ එම මගඩිය වසං කිරීමේ බලවත් උත්සාහයන් බව බොහෝ විට පැහැදිලි වූ කරුණකි. වඩාත්ම කනගාටුදායක කරුණ නම් මේ සිද්ධියෙන් උපරිම දේශපාලන වාසිගෙන බලයට පත්වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය යටතේත් මේ ගැන නව විමර්ශන ක‍්‍රියාවලියක් ආරම්භ කරන බවක් පෙනෙන්නට නොතිබීමයි. මේ රජයේ බොහෝ දෙනෙක් ද දැන් මේ ගැන වැඩි කතාබහක් නැත.
මේ අතර වත්මන් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පසුගිය පෙබරවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවේ දී ශාන්ත බණ්ඩාර මන්ත‍්‍රීවරයා අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ අප සඳහන් කරන කරුණම සඳහන් කළේය. එනම් ඔහු දුන් පිළිතුරේ මෙසේ සඳහන් විය.
”මේ ප‍්‍රශ්නය අවුරුදු හයක් තිස්සේ අපේ රටට විශාල හානියක් කරපු ප‍්‍රශ්නයක්. නමුත් මා හිතන විදියට ඒ කරලා තියන විමර්ශන තවම සම්පූර්ණ නැහැ. තවදුරටත් එම විමර්ශන පැවැත්විය යුතුයි කියන එකයි මගේ මතය. මොකද සමහර තැන්වල දී එම විමර්ශන කටයුතු නැවතී තිබෙන බවත් අපට පෙනී යනවා. විශේෂයෙන් ලංකා බැංකුවෙන් රුපියල් බිලියන දහයක් ක්ෂණිකව ලබා දුන්නේ කෙසේ ද, එය ලබා දුන්නේ කාගේ අනුමැතිය අනුව ද කියන කරුණු තවම මේ වාර්තාවල ලියැවී නැහැ. වාර්තා කරද්දී ඒ ගැන විග‍්‍රහ වෙලත් නැහැ. ඒ නිසා ඒවා පිළිබඳව තවදුරටත් විමර්ශනය කළ යුතුයි කියන එක තමයි මගේ මතය.
ඒත් එක්කම ඒ සිදු වීමට සම්බන්ධ මොලකරු පිළිබඳවත් සොයන්න අවශ්‍යයි. ඒ පිළිබඳව කර තිබෙන විමර්ශන ගැනත් මම සෑහීමට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරි කාලයේ දී ඒ පිළිබඳවත් අවශ්‍ය කටයුතු කරලා, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ඒවා ගැන ක‍්‍රියාත්මක වෙලා අදාළ පුද්ගලයින්ට විරුද්ධව කටයුතු කෙරෙයි කියන එකයි මගේ අදහස.”
ඇත්තවශයෙන්ම අප කියන්නේ ද මුදල් රාජ්‍ය ඇමැති කබ්රාල් මහතා කියන පරිදිම යහපාලන රජය සමයේ සිදු වූ එම අසම්පූර්ණ විමර්ශන ක‍්‍රියාවලිය මත පමණක් නීතිමය පියවර ගැනීමෙන් මහජනයා අපේක්ෂා කරන යුක්තිය ඉටු කරගත නොහැකි වනු ඇති බවයි. එසේම එවිට මේ සඳහා චෝදනා එල්ල වූ මහමොලකරුවන්ට ද කිසිවක් සිදු වනු ඇතැයි ද සිතිය නොහැකිය. මේ වන විට අප දන්නා පරිදි බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ ප‍්‍රකාරව නඩු තුනක් සඳහා ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිශ්චය මණ්ඩල නම් කර තිබේ. ඒ අනුව එම නඩු ඉදිරි දිනවල විභාග වනු ඇත. මේ නඩු සම්බන්ධයෙන් අප පසුගිය ලිපි මගින් දැනටමත් සාකච්ඡුා කර ඇත.
පසුගිය යහපාලන රජයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පත්කළ නීතිඥ කමිටුවේ සිට කෝප් කමිටු විමර්ශන, ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාවේ විමර්ශන සහ අවසානයේ වෝහාරික විගණන වාර්තා දක්වා වූ සියලූ විමර්ශන කටයුතු මේ මගඩිය වසන් කිරීමේ විශාල උත්සාහයේ එකට බැඳුණු කොටස් බවට චෝදනා එල්ල වී තිබේ. මුලින් කිසිසේත්ම බැඳුම්කර වංචාවක් සිදු නොවූ බවට පෙන්වා පුද්ගලික නීතිඥ කමිටුවක් ලවා වාර්තාවක් ලබාගෙන මේ සිද්ධිය යටපත් කිරීමට උත්සාහයක් පැවතිණි. එහෙත් මේ ගැන බොහෝ තොරතුරු ජනමාධ්‍ය හරහා රටට හෙළිදරව් වූ නිසා මෙය පහසුවෙන් යටපත් කළ හැකි කරුණක් නොවන බව මේ මගඩියේ මහ මොළකරුවන් වටහා ගන්නට ඇත. ඒ නිසා ඔවුන් පසුව උත්සාහ කළේ බැඳුම්කර වංචාවක් සිදුව තිබුණත් එයට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හෝ ඔහුට උපදෙස් දුන් මොළකරුවන් සම්බන්ධ නොමැති බවට ඒත්තු ගැන්වීමටය. එහෙත් බැඳුම්කර කොමිසමේ සාක්ෂිවලින් බොහෝ සැඟව තිබූ තොරතුරු එළියට ආවේය. මුලින්ම මේ අය සිතුවේ ‘බොන්ඞ්’ කියා ඇසූ විට ‘ජේම්ස් බොන්ඞ්’ ද? කියා උපහාසාත්මකව අසමින් මෙය ඉතා සරලව යටපත් කිරීමටය.
මේ බැඳුම්කර මගඩිය නිසා රටට සිදු වූ පාඩුව මීට චෝදනා එල්ල වූ අය සුළු කොට තකන්නට හැදුවත් එමගින් සමස්ත ආර්ථිකයට සිදු කළ හානිය අති විශාලය. මේ හරහා රටට සිදු වූ පාඩුව මීට වගකිවයුත්තන්ට සහ එහි මොලකරුවන්ට පවා මුළුමනින්ම පියවා අවසන් කළ නොහැකි බව කිව යුතුව තිබේ. ඒ නිසා මෙම මගඩියට වගකිවයුත්තන්ට එරෙහිව නිසි පරිදි නීතිය ක‍්‍රියාත්මක කිරීම පසුගිය යහපාලන රජය පෙරලා දැමූ මහජනයාගේ ප‍්‍රමුඛම අපේක්ෂාවකි. එහෙත් යහපාලන රජය යටතේ සිදු වූ අසම්පූර්ණ බැඳුම්කර විමර්ශන මත පමණක් වත්මන් රජය යටතේ ද නීතිමය පියවර ගන්නේ නම් එය එම මහජන අපේක්ෂා ඉටු කිරීමක් නොවේ. ඒ තුළින් සිදු වනුයේ මීට චෝදනා එල්ල වූ දේශපාලන මොලකරුවන්ගේ අපේක්ෂා ඉටු වීමක් නොවේ ද?
මේ පසුබිම තුළ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් මිය ගිය අයට යුක්තිය ඉටු කර ගැනීම සඳහා මැල්කම් රංජිත් කාදිනල්තුමන් ගන්නා වෙහෙස සහ සිදු කරන බලපෑම ඉතා අගය කළ යුතුය. පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයට වගකිව යුතු අයට නීතිමය පියවර ගැනීමට එළඹෙන අපේ‍්‍රල් 21 වැනි දින දක්වා කාලය ලබා දෙන බව ද අගරදගුරුතුමන් සඳහන් කර තිබේ. එම ප‍්‍රහාරය එල්ල වී වසර දෙකක් ගත වුවත් එහි මහ මොළකරුවන් හා අනුබල දුන් අය නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වූයේ මන්දැයි උන්වහන්සේ ප‍්‍රශ්න කරති. එයම අපට බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළ හැකිය.
එනම් බැඳුම්කර මගඩිය සිදු වී පසුගිය පෙබරවාරි 27 වැනිදාට වසර හයක් සම්පූර්ණ වීමයි. පාස්කු ප‍්‍රහාරයේ වරදකරුවන් නීතිය හමුවට දෙන ලෙස ඉල්ලමින් ලබන ඉරිදා සාමකාමී විරෝධතාවක් පවත්වන බවද උන්වහන්සේ පවසා ඇත. මේ ආකාරයට බැඳුම්කර මගඩියට එරෙහිව යුක්තිය ඉටු කර ගැනීම සඳහා රජයට බලපෑම් කිරීමට කිසිවෙක් නැත. මුදල් රාජ්‍ය ඇමැති කබ්රාල් මහතා මේ ගැන කතා කර තිබීම සතුටට කරුණක් වුවත් ඔහුට අගරදගුරුතුමන් මෙන් මේ සඳහා රජයට බලපෑමක් කිරීමට හැකියාවක් නැත. මේ රජයේ අය රට පැන සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගන්නා බවට දේශපාලන වේදිකාවේ ලොකු කතන්දර කීවත් ඒ කිසිවක් මෙතෙක් ඉටු වී නැත. බැඳුම්කර කොමිසමේ සාක්ෂි ලබා දීම දක්වාම මේ අර්ජුන මහේන්ද්‍රන් මෙරට සිටියේය. අද ඔහු ගැන කෙතරම් වද වුවත් එදා නීති අංශ මේ ගැන හරි පියවරක් ගත්තේ ද? මේ අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව කොතෙකුත් සාක්ෂි ඉදිරිපත් වී තිබුණත් ඔහුට එරෙහිව අඩු තරමේ විදෙස් ගමන් තහනමක් හෝ ලබා ගැනීමට මේ රටේ නීති අංශ පියවර නොගැනීම විමතියකි. කෙසේ හෝ ඒ සියල්ල සිදු වී හමාරය. දැන් මේ රජය කරන්නේ කුමක් ද? රටින් පිට වී ඇත්තේ අර්ජුන මහේන්ද්‍රන් පමණකි. මෙයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අනිත් අය මෙන්ම මෙහි දේශපාලන මහමොළකරුවන් බවට සඳහන් වූ අය ද මේ රටේ සිටී. මේ අයට නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍යය. බැඳුම්කර මගඩියේ මෙතෙක් වසන් කළ සියලූ පැතිකඩ ද ආවරණය වන පරිදි නව විමර්ශන කටයුතු ද මේ සඳහා අවශ්‍ය බව අපගේ අදහසයි. එවැන්නක් සිදු වේ ද යන්න අප තවමත් දන්නේ නැත. මේ නව විමර්ශන ද ආරම්භ කර මෙහි සියලූ වගකිව යුත්තන්ට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව අපි ගෝඨාභය රාජපක්ෂ රජයට සහ නීති බලධාරීන්ට සිහිපත් කරමු. එහෙත් එය යහපාලන රජයේ බැඳුම්කර ජනාධිපති කොමිසමේ නිර්දේශ මත පමණක් සිදු කළ හැකි දෙයක් ද? එය එසේ නොවන බව අපගේ අදහසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...