ක්‍රිස්තු වර්ෂ 993 දී විතර ආරම්භ වෙච්ච චෝළ ආක්‍රමණයෙන් පස්සේ දීර්ඝ කාලීන ස්ථාවරත්වයක් සහිත රාජ්‍යයක් හදාගන්න අපිට බැරිවුනා. චෝළ ආක්‍රමණය කියන්නේ ජාතියක් විදිහට අපි මුහුණ දීපු සුනාමියක් තරම් විශාල අති දැවැන්ත දේශපාලන අනතුරක්. චෝළ පාලනය අවුරුදු 80 කට විතර සීමා වුනත් ඒ හින්දා අපිට වෙච්ච හානි මෙච්චරයි කියලා කියන්න බෑ. අපේ භාෂාවට සංස්කෘත සන්නියක් බෝවීම, භික්‍ෂුණු ශාසනය මුළුමනින්ම නැති වෙලා යෑම, අපිට උරුම වෙලා තිබුණු බෝධිසත්ව වන්දනාව දේව වන්දනාවක් බවට පරිවර්තනය වීම වගේ බලපෑම් මහ විශාල ප්‍රමාණයක් ඒ කාලය තුළ සිද්ද වුනා.
ක්‍රිස්තු වර්ෂ 1070 වෙද්දි චෝළ ආක්‍රමණයෙන් අප රට මුදවා ගන්න විජයබාහු මහ රජතුමාට පුළුවන් වුනත් එයින් ඉස්සරහට තවත් අවුරුදු 150 ක කාලයක්වත් ස්ථාවර රාජ්‍යයක් විදිහට අපේ රට පැවතුනේ නෑ. ඊට පස්සේ අපි මුහුණ දුන්නේ කාලිංග මාඝයාගේ භීෂණයට. ඒ භීෂණයෙන් රට මුදවා ගත්තත් එයින් පස්සේ අපේ රටේ පාලනය ඉතාමත් අස්ථාවර තත්ත්වයකට පත් වෙච්ච විදිහ ගැනත් අපි හැමෝම දන්නවා. අවුරුදු තුන් සීයක් ඇතුළත දඹදෙණිය, ගම්පොළ, කෝට්ටේ රාජධානි ඇති කර ගන්න අපිට සිද්ද වුනා. ඒ කාලය ඇතුළත ඇති වෙච්ච අලකලංචි මෙච්චරයි කියලා කියන්න බෑ. මේ ඔක්කොම සෙල්ලම් කෙළවර වුනේ යුරෝපීය ආක්‍රමණවලට අපි ගොදුරුවීමත් එක්කයි.
චෝළ ආක්‍රමණයත්, එයින් පස්සේ ගත වෙච්ච අවුල් සහගත අවුරුදු 500 ත්, අන්තිමට යුරෝපීය බලපෑම යටතේ ගතවෙච්ච අවුරුදු 500 කට කිට්ටු කාලයත් හින්දා අපි ජාතියක් විදිහට සෑහෙන්න දුර්වල වෙච්ච බව පැහැදිළියි. 1948 දී සුද්දෝ යන්න ගියේ එංගලන්තයේ රැජින තවදුරටත් අපේ රාජ්‍ය නායිකාව කියන එකඟතාව ඇති කරගෙන මිසක් අපිට සම්පූර්ණ නිදහසක් ලබා දීලා නම් නෙවෙයි. ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ ඇතිවෙච්ච හැල හැප්පීම් හින්දා අපිට අපේ ම කියලා නායකත්වයක් ඉතිරි වෙලා තිබුණෙත් නෑ. අපේ නායකත්වයට අවශ්‍ය පිරිසත් යටත්විජිත පාලකයා විසින් ම කවලා පොවලා ඇති දැඩි කරලා හදලා දීලා තිබුණා.
ඉතින් 1948 න් පස්සේ අපිට භුක්ති විඳින්න නියම වෙලා තිබුණේ සුද්දා විසින් ඌට අවශ්‍ය විදිහට පවරලා දීපු “නිදහසක්” මිසක් අංග සම්පූර්ණ නිදහස් පාලනයක් නම් නෙවෙයි. අපිට උවමනා ආකාරයේ නිදහසක් කෙටි කාලයක් තුළ උදා කර ගන්න අපිට බැරිවුනා. 1947 අගෝස්තු 15 වැනි දා බ්‍රිතාන්‍ය යටත්විජිත ස්වාමියාගෙන් “නිදහස” ලබා ගත්ත ඉන්දියාව කියන රටට මාස 29 ක් ඇතුළත (1950 ජනවාරි 26 වැනි දා වෙද්දි) ජනරජයක් බවට පත්වෙන්න පුළුවන් වුනා. 1947 අගෝස්තු 14 වැනි දා බ්‍රිතාන්‍ය යටත්විජිත ස්වාමියාගෙන් “නිදහස” ලබා ගත්ත පකිස්තානයට අවුරුදු 9 ක් ඇතුළත (1956 මාර්තු 23 වැනි දා) ඉස්ලාමීය ජනරජයක් බවට පත්වෙන්න පුළුවන් වුනා.
1948 පෙබරවාරි 4 වැනි දා බ්‍රිතාන්‍ය යටත්විජිත ස්වාමියාගෙන් නිදහස් වුනා කියලා කියන අපිට අපේ රට ජනරජයක් බවට පත් කරන්න අවුරුදු 24 කට වැඩි කාලයක් ගත වුනා!
අපි මේ කාල සීමා ගැන ආයෙත් මෙනෙහි කරමු.
* ඉන්දියාවට අවුරුදු දෙක හමාරකට අඩු කාලයක්.
* පකිස්තානයට අවුරුදු නවයක් විතර කාලයක්.
* අපිට අවුරුදු 24 කට වැඩි කාලයක්.
අපේ රට සහ අපේ නායකයෝ පත්වෙලා හිටිය තත්ත්වය මේ කාරණය තුළිනුත් අපිට ඉතාමත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒ නායකයන්ගෙන් අතිමහත් බහුතරයක් “බ්‍රිතාන්‍ය යටත්විජිත උරුමය” ගැන ආඩම්බර වුනා. ඉතින් අපේ රට ජනරජයක් බවට පත් කරන්න ඕනකමක් එහෙම පිරිසකට ඇති වෙන්නේ නෑ.
කොහොම හරි සුද්දෝ යන්න ගිහිල්ලා අවුරුදු 24 කට පස්සේ අද වගේ දවසක (1972 මැයි 22 වැනි දා) අපේ රට ජනරජයක් බවට පත්වුනා. ඒත් එක්කම අපි අපේ ම කියලා හදාගත්ත ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. අවුරුදු දාහකට කිට්ටු කාලයක් පුරා ඇතිවෙච්ච අලකලංචි නිසාත් අවුරුදු 500 කට කිට්ටු යුරෝපීය බලපෑම් හින්දා ඇති වෙලා තිබුණු කොඳු කැඩිල්ල නිසාත් අපිට උරුම වෙච්ච දුර්වලකම් 1972 ඇති කරගත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළිනුත් පිළිබිඹු වුනා. ඒක අපිට අවශ්‍ය ආකාරයේ අංගසම්පූර්ණ ව්‍යවස්ථාවක් කියලා කියන්න පුළුවන්කමක් නෑ.
පළමුවැනි ජනරජ ව්‍යවස්ථාව ඇති කරගෙන අවුරුදු හයක් ගත වෙන්න කලින් ඒක අයින් කරලා දෙවැනි ජනරජ ව්‍යවස්ථාවක් සම්මත කරගන්න ජේ. ආර්. මහත්තයා කටයුතු කළා. මේත් එක්කම ඒ මහත්තයා තවත් අපූරු වැඩක් කළා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වැනි ව්‍යවස්ථාව විදිහට මෙහෙම වාක්‍යයක් ඇතුළත් කරවන එක තමයි ඒ වැඩේ.
“ශ්‍රී ලංකා ජනරජයේ ජාතික දිනය පෙබරවාරි මස හතරවැනි දිනය වන්නේ ය”
ඒත් එක්කම මැයි 22 වැනි දා ජනරජ දිනය කියන කාරණය ඉතිහාසයට තල්ලු කරලා දැම්මා. ඉන්දියාව කියලා හදලා තියෙන රටත් පකිස්තානයත් බොහොම ඉහළින් සමරන්නේ තමන්ගේ ජනරජ දිනය මිසක් සුද්දෝ “නිදහස” ලබා දීපු දිනය නෙවෙයි. ඒත් අපේ රටේ තවමත් කතා කරන්නේ, මහ ඉහළින් සමරන්නේ 1948 ලබා දීපු “නිදහස” මිසක් 1972 පිහිටුවා ගත්ත “ජනරජය” නෙවෙයි.
1972 පිහිටුවා ගත්ත ජනරජය අංගසම්පූර්ණ එකක් නොවන බව අපි දන්නවා. ඒත් ඒක අපේ නිදහස වෙනුවෙන් තියපු ඉතාමත් වැදගත් එක පියවරක් කියන එක අපි තේරුම් ගන්න ඕන. ජනරජයක් වුනාට තවමත් අපේ ඉහළ උසාවිවල නඩු අහන්නේ, තීන්දු දෙන්නේ යටත්විජිත ස්වාමියාගේ භාෂාවෙන්. ජනරජයක් වුනාට තවමත් අපි ක්‍රියාත්මක කරන්නේ යටත්විජිත ස්වාමියා හදලා දීපු සමහර අණ පනත්. දැන් තියෙන කොරෝනා උවදුර අස්සේ පවා අපි මේ අඩුපාඩු දැක්කා. ඒ කොහොම වුනත් 1972 මැයි 22 කියලා කියන්නේ අපේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් දවසක්.
තවත් අවුරුදු දෙකක් ගත වෙද්දි අපේ රට ජනරජයක් බවට පත්වෙලා අවුරුදු පනහක් සම්පූර්ණ වෙනවා. මේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් දැන් තියාම සූදානම් වෙන්න ඕන බව අපි තේරුම් ගන්න ඕන. අපි සූදානම් වෙන්න ඕන එදාට කොඩි උස්සන්න විතරක් නම් නෙවෙයි. ඒ දවස වෙද්දි ජාතියක් විදිහට යම් යම් ඉලක්ක සපුරා ගැනීමේ අධිෂ්ඨානයත් අපි ඇති කර ගන්න ඕන.
1959 දී විද්‍යොදය සහ විද්‍යාලංකාර මහ පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීම අපේ මෑත ඉතිහාසයේ අපි ගත්ත ඉතාමත් වැරැදි තීරණයක්. ඒ හින්දා ඇති වෙලා තියෙන ශාසනික පරිහානියත් දැන් අපිට ඉතාමත් හොඳින් පේනවා. ශාසනික ප්‍රබෝධයක් ඇති නොකර අපිට ඕන කරන නිදහස සාක්‍ෂාත් කරගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක තවත් හීනයක් විතරක් ම වේවි. ඉතින් 2022 මැයි 22 වෙද්දි අපේ ම ක්‍රමයට මහා පිරිවෙනක් පිහිටුවා ගන්න අපිට පුළුවන් වෙයි නම් ඒ හරහා ලොකු ගමනක් යන්න බැරි වෙන එකක් නෑ.
මේ ජනරජ දිනය දවසේ අපි ඒ හීනයවත් දකිමු. මේ හීනය ඇත්තක් කර ගන්න අපි අපිට පුළුවන් තරමින් වැඩ කරමු.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...