සෙනසුරාදා උදෑසන ලූණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පස්සර 13 කණුව ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 250 ක පමණ ප‍්‍රපාතයකට පෙරළීමෙන් මහත් විපතක් සිදුවිය. ප‍්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යෑමේදී බස් රථයේ ඉදිරිපස රෝදය මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑම නිසා බසය ප‍්‍රපාතයට පෙරළී ඇති බව පොලිසිය ප‍්‍රකාශ කරයි. බස් රථ රියැදුරාගේ අනවශ්‍ය හදිසියක් තිබූ බව සීසීටීවී දර්ශන අනුව පෙනීයයි. එයින් සිදුවූයේ ජීවිත 14ක් නැතිවී තවත් 32 දෙනෙක් බරපතළ තුවාල ලැබීම නොවේද? හෙලට ඇද වැටුණු බස් රථය විනාශ වී ඇත්තේ ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරයට ලක්වූ ආකාරයටය. එයින්ම මේ අනතුරේ බිහිසුණු බව මැනවින් පසක් වෙයි. මාස හයක් තිස්සේ මේ මාර්ගයට ඇද වැටී පස් හා ගල් ඉවත් කෙරී නැත. එයින් පැත්තක්ම අවහිර වී තිබිණි. බස් රථය පාරෙන් ඉවතට විසිවී පහළට අද වැටීමට මෙය ප‍්‍රබල හේතුවකි. අදාළ කොන්ත‍්‍රාත්කරු මාස හයක් තිස්සේ මේ අවහිර වූ පස් හා ගල් ඉවත් නොකර ඇති බව පැවසේ. එසේනම් මේ මරණවලට මාර්ග සංවර්ධන අධිකාරියේ නොසැලකිල්ලද බලපා ඇති බව පැහැදිලිය. අනතුරු සංඥා පුවරු සවිකර ඇත්තේ බස් රථය හෙලට විසිවීමෙන් පසුවය. එනම් පෙරේදා රාත‍්‍රියේය. සංඥා පුවරු සවි වන්නටද 14 දෙනකුගේ බිල්ලක් අවශ්‍ය විය. මේ රියැදුරාගේ නොසැලකිල්ල මෙන්ම අපරික්ෂාකාරීත්වය ගැන සොයන ආකාරයට අදාළ බලධාරීන්ගේ මෙන්ම කොන්ත‍්‍රාත්කරුගේ නොසැලකිල්ල ගැනද විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්යය. කෙතරම් දැඩි නීති පනවා තිබුණත් ‘‘යුද්දෙන් මැරුණට වඩා, මිනිස්සු මැරෙන්නේ මහ පාරේ…” යන කියමන අදටත් වලංගු බව පෙනෙන්නේ මේ අනතුරු හා මහමග සිදුවන අනතුරුවලට අදාළ සංඛ්‍යා ලේඛන පිරික්සීමේදී ය. 2018 දී රිය අනතුරුවලින් නැසී ගිය මිනිස් ජීවිත ගණන තුන් දහසකට අධිකය. 2019 දීද තුන් දහසකට ආසන්න ප‍්‍රමාණයක් ජීවිතයට සමු දුන්හ. 2020 නොවැම්බර් මාසය අවසන් වන විට රිය අනතුරුවලට ගොදුරු වී මිනිස්සු 1900ක් මරණයට පත් වූහ. තවම කොරෝනා එතරම් සැහැසි වී නැත. බීමත්කම සහ අධික වේගය බොහෝ රිය අනතුරුවලට ප‍්‍රධාන හේතුවක් ලෙස සලකා ඊට දැඩි නීති පනවා තිබේ. දඩ මුදල් ඉහළ දමා තිබේ. නමුත් මෙම හේතු සාධක දෙකටම අයත් නොවන රිය අනතුරු නිරන්තරයෙන් වාර්තා වේ. 2020 ගැන කතා කරන විට කොරෝනා වසංගතය අමතක කළ නොහැකිය. මේ නිසා ලෝකයේ සෑම රටකම පාහේ රිය අනතුරු වාර්තාවීමද අඩු විය. නමුත් 2020 ඔක්තෝබර් මාසය අවසන් වනවිට ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ ‘රථවාහන වැරදි‘ ලක්ෂ 20කට ආසන්න ප‍්‍රමාණයකින් පොලිස් පොත පිරී තිබුණි. එසේනම් ලංකාවේ රිය අනතුරු පිළිබඳව වෙනම ප‍්‍රශ්නයක් ඇති බව පෙනේ. පස්සර අනතුර මේ අවුලට ඉතා ළඟ උදාහරණයයි. ඇත්තෙන්ම මාර්ගයේ ‘‘හික්මීම නොමැතිකම” දිනකට ශ‍්‍රී ලංකාවේ අටදෙනකුට දිවි අහිමි කරන බව හෙළිව තිබේ. ශ‍්‍රී ලංකා පොලිසිය සතු දත්ත අනුව 2017 වසරේ වාර්තා වූ රිය අනතුරුවලදී දෛනිකව 12 දෙනෙක් පමණ තුවාල ලැබූහ. මේ වසර පහකට එපිට නිසා දැන් මේ තත්ත්වය ඉහළ ගොස් ඇති බව පැහැදිලිය. තරුණ ජීවිත නිරපරාදේ විනාශ වී යන්න අපරික්ෂාකාරී යතුරු පැදි ධාවනය නිසාය. ඔවුහු සැමවිටම ඉගිලෙන්නට උත්සාහ කරති. ටික්ටෝක් වීඩියෝ දැමීම වෙනුවෙන්ම ඉගිලෙන පිරිසක් බිහිව ඇත. ටික්ටෝක් කෙසේ වෙතත් ඇසුරු සැණින් පරලොව යන්නට මේ වේගවත් ධාවනය හේතුවන බව පැහැදිලිව සටහන් කළ යුතුය.
2021 මාර්තු 22 දිවයින කතු වැකිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...