පුරවැසි කොලම

ශ්‍රී ලංකාවේ කීර්තිමත් සූපවේදියෙකු වන ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදියා වූ පබ්ලිස් සිල්වා මහතා විසින් මෙම ලියුම්කරු සමඟ කරනු ලැබූ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වා දුන්නේ සත්ව තෙල් භාවිත නොකර තම ආහාර සකස් කරගන්නා එකම ජාතිය වෙසෙන රට ශ්‍රී ලංකාව බවයි. ඔහු පෙන්වා දුන්නේ ඉන්දියාව පවා තම ආහාර නිපදවා ගැනීමට සත්ව තෙල් (එළඟි තෙල්) භාවිතා කරන බවයි. ශ්‍රී ලාංකිකයෝ තම ආහාරමය තෙල් අවශ්‍යයතාවය පොල් තෙල් සහ මී තෙල් ආශ්‍රිතව සපුරා ගත් අතර සුදු ජාතික ආක්‍රමණිකයන් විසින් මී ගස විනාශ කිරීමට කටයුතු කිරීමෙන් පසු ආහාරමය අවශ්‍යයතා වෙනුවෙන් අවශ්‍යය තෙල් සපයා ගත්තේ පොල් තෙල් ආශ්‍රිතවය. මෙම තෙල් වර්ග භාවිතා කළ ශ්‍රි ලාංකිකයෝ වසර 120ක පමණ ආයුකාලයක් භුක්ති වින්ද බව ඉතිහාස කාරනා දෙස් දෙයි. රොබට් නොක්ස් නම් උඩරට රාජධානියේ සිරකරුවෙකුව සිට පසුව පාලාගිය නාවිකයා විසින් ලියන ලද එදා හෙළදිව නම් ග්‍රන්ථයේ කියවෙන පරිදි ඔහු උඩරට රාජධානියේ ජීවත්වූ කාලය තුළ වසර 80ක් ආයු වළඳා මිය යාමත් සලකා තිබුණේ අකාල මරණයක් ලෙස බවයි. මෙම සියල්ල සිදු වූයේ ශ්‍රී ලාංකිකයා ලබා ගත් පිරිසිදු පෝෂ්‍යයදායි ආහාර සහ සෞම්‍යය පරිසරය විසින් ඇති කරන ලද්දාවූ ජීවන රටාව මිස වෙන කිසිවක් නොවේ. ශ්‍රී ලාංකිකයාගේ පිරිසිදු පෝෂ්‍යයදායි ආහාරවේලේ ප්‍රධාන අංගය පොල් යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

විවෘත ආර්ථිකය සහ සාම්ප්‍රදායික ආහාර රටාව

කරුණු මෙසේ වෙද්දී වසර 500ක් තිස්සේ බටහිර ජාතින්ගේ යටත් විජිතයක්ව සිට පවා විනාශ කිරීමට නොහැකි වූ අපේ ජීවන රටාවේ වැදගත්ම අංගය වූ ආහාර සංස්කෘතියට බරපතලම ව්‍යුහාත්මක වෙනස්කම කිරීමට 1977 න් ඇරඹි විවෘත ආර්ථිකයට පහසුවෙන් කළ හැකි විය. පළමුවෙන්ම පාංපිටි පර්භෝජනය ඉහළ දැමීමට ඉවහල් වන ක්‍රියා මාර්ග තේරු එම පාලන රටාව අපේ ආහාර පර්භෝජන රටාව උඩු යටිකුරු කිරීමට අවශ්‍යය වන්නාවූ දැවැන්ත මාධ්‍යය මෙහෙයුමක් සිදු කරමින් දේශීය එළ කිරි වෙනුවට විදේශීය ආදේශක කිරිපිටි බීමට අපිව ඉතා පහසුවෙන් හුරු කළෝය.පාම් තෙල් තුළින් හයිඩ්‍රජන් වායුව යවා දේශීය පෝෂ්‍යයදායි බටර් වෙනුවට මාගරින් ලාංකිකයාට කැවීමට තරම්වි විවෘත ආර්ථික මහිමය ඉතා උජාරු විය.

ලාංකිකයාට පොල් තෙල් ඇලජික් කරවීම

කෙසේ වුවද පොල් තෙල් පරිභෝජනයෙන් ඉවත් කර ආදේශක පොල් තෙල් කැවීමට ශ්‍රී ලාංකිකයා හුරු කර වීම දේශීය එළ කිරි වෙනුවට ඌරුතෙල් හෝ පාම් ඔයිල් එක්කල නවසීලන්ත කිරි පෙවීමට ලාංකිකයා හුරු කරවීම තරම් පහසුවෙන් කළ නොහැකි විය. ඒ වෙනුවට බටහිර සමාගම් අපූරු උපක්‍රමයක් තෝරා ගත්හ. මේ ලියුම්කරුගේ අදහසේ හැටියට නවසීලන්තයෙන් ගෙන්වූ ඌරුතෙල් හෝ පාම් තෙල් මිශ්‍ර කිරිපිටි සහ බටර් පර්භෝජනයට හුරු වූ ශ්‍රී ලංකාවේ උගත් මධ්‍යයම පන්තිය අතර හදවත් රෝග සුලබ වන්නට පටන් ගත්තේ 80 දශකයේ මැද භාගයේ සිටය. ඊට සමාන්තර හදවත් රෝගවලට හේතුව පොල්තෙල් පරිභෝජනය යැයි කියවෙන විද්වත් මත ,වෛද්‍යය මත වැසි වසින්නට පටන් ගත්තේය. ඉරිදා පුවත් පත් වල පිටු ගනන් වෙන් වූයේ පොල්තෙල් වල නුගුණ කීමටය. මේ ලනුව අමුවෙන් ගිල ගත්තේ උගත් යැයි කියා ගන්නා මධ්‍යයම පාන්තිකයන් වූ අතර ඔවුන්ගේ පුංචි මොළයට ආකර්ෂණය වන සූරියකාන්ත තෙල් එළවළු තෙල් ආදී වශයෙන්වූ බහුවිධ ආදේශක පොල්තෙල් ශ්‍රී ලාංකේය වෙළෙඳ පොළ ආක්‍රමණය කළේය. මෙය මේ වන විට “ඇස්කිමෝවරුන්ට ශීතකරණ විකිනීම” යන “මාර්කටිං” සංකල්පය “ලාංකිකයාට පාම් තෙල් විකිනීම” දක්වා වෙනස් කිරීමට තරම් ප්‍රභල වී තිබේ.  මීට සමාන්තරව බහු ජාතික සමාගම් අපේ පොල් ගෙඩියෙන් “වර්ජින් කොකනට් ඔයිල්” අපේ භූමියේ සිටම නිපදවා උන්ගේ මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යය සුවපත් කිරීමට උන්ගේ රටවලට පටවා අපිට කෝලා බීම පොවා උන්ට පොල් වතුර බීමට අවශ්‍යයවන පහසුකම් සලසා සිටියෝය.

පොල්තෙල් ශ්‍රී ලාංකිකයාගේ මනසේ ඇලජික් කරවීමෙන් බහු ජාතික සමාගම් බූවල්ලෝ විවර කර ගත් ඉඩ භාවිත කරමින් පාම් තෙල් කැවීමට අපූරු උපක්‍රම පාවිච්චි කළෝය. එලෙසම අදද පාවිච්චි කරමින් සිටිති. ශ්‍රී ලාංකික පුද්ගලික සමාගම් කිහිපයක් විසින් ගෙන්වා බෙදාහරින පාම් තෙල් වෙළඳාමේ පහසුව තකා හිටපු අමාත්‍යය රිෂාඩ් බදුර්දීන් මහතා විසින් පොල්තෙල් වලට පාම් තෙල් කවලම් කරවීමේ අනුමැතිය හිමි වන ගැසට්ටුව 69 ලක්ෂයේ අපේක්ෂාවන් මල් පල ගන්වන වත්මන් ආණ්ඩුවේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා යටතේද ක්‍රියාත්මකය. මේවා ගැන සොයා බලා කටයුතු කරණු ඇතැයි 69 ලක්ෂය බලාපොරොත්තු තැබූ ජනාධිපතිවරයා වට කොට සිටින්නේ එක්කෝ පාත් ෆයින්ඩර්වරුය එහෙමත් නැතිනම් බෝන් අගේන් ක්‍රියාකාරිකයන්ය. ලියුම්කරුට හැඟෙන්නේ එතුමාව ගම සමඟ පිළිසඳරට තල්ලු කර දැමීමට තරම් සූක්ෂම වූ මෙම කණ්ඩායම් මුහුණු පොතේ ජනාධිපතිවරයාට එල්ල කරනු ලබන උපහාසාත්මක විවේචන වලින් සලිත වන ජනාධිපතිවරයාව පිළිසඳරේ යෙදෙන ගමේ මිනිහාට දුක කියන තැනට පත් කර හමාරය.

ආදේශක පොල් තෙල් ප්‍රතිඅපනයනයට නියෝග

පිටිය සැකසුනේ පාම් තෙල් විකිණීම පහසු කරවීමට වුවද පන්දු යවන්නේ 69 ලක්ෂයේ කණ්ඩායම වන හෙයින් අතලොස්සක් වූ ආදේශක පොල් තෙල් ආනයනයකරුවන්ට විකට්ටුව පහසුම නැත. දේශිය පොල්තෙල් නිෂ්පාදකවරුන් විසින් යැවු ඇෆ්ලටොක්සීන් පන්දුව ආදේශක පොල්තෙල් ගෙන්වූ කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවන්ගේ විකට්ටුවටම දඟ කැවී ඇත්තේ ඔවුනට පක්ෂපාත විනිසුරුවන් විසින් ලබා දුන් වාසි දායක තීන්දුව වූ ආදේශක විෂ පොල් තෙල් තමන්ගේ අංගනයන්ගේ ගබඩා කර ගැනීමට දී තිබූ හයේ පහරක් ලෙස සනිටුහන්වූ තීන්දුව තුන්වැනි විනිසුරුවන් වූ ඇෆ්ලටොක්සීන් පරීක්ෂණයට ලක්කල විද්‍යාගර වල වාර්තා විසින් උඩු යටි කුරු කර ඒවා විෂ සහිත ආදේශක පොල් තෙල් බවට තහවුරු කර එම පහර නීති විරෝධී හයේ පහරක් ලෙස සනිටුහන් කර ඇත. කෙසේ වුවද පිතිකරුගේ දීර්ඝකාලීන ව්‍යාපාරික ක්‍රීඩා ජීවිතයට අවම හානිය කරමින් ඒවා ප්‍රති අපනයනය කිරීමට නියෝග ලැබීමට නියමිතය. ලංකාවේ ව්‍යාපාරික ක්‍රීඩා නීති පොත ලියා ඇත්තේම කූට ව්‍යාපාරිකයා ආර්ක්ෂා කරීමටම බව තහවුරු වන අතර රිෂාඩ් බද්යුද්දීන්ගේ නීති පොත එලෙසම ආරක්ෂා කිරීමට ආචාර්ය බන්දුල ගුණවර්ධන අපූරු සමත් කමක් පෙන්වමින් සිටී.

තෙවන විනිසුරුගේ තීන්දුව

රිෂාඩ්ලා සැකසූ පිටිය ආචාර්යවරු අලංකාර කරමින් සිටින අතර තුර 69 ලක්ෂය වන තුන්වැනි විනිසුරු නිවැරදි තීන්දුව ලෙස ජාතියම ආමාශගත දරුණු රෝග වලට ලක්කරන ආදේශක විෂ පොල්තෙල් අත් හැරීම නම් සාමූහික ප්‍රහාරාත්මක සමාජ ක්‍රියාකාරකම් වලට අවතීර්ණ විය යුතු බව ලියුම්කරුගේ හැඟීමයි. එහි පහසුව පිණිස පහත දැක්වෙන තොරතුරු නළු නිළියන්ගේ දේශපාලුවන්ගේ ඕපා දූප වලින් පුරවා ගත් හිස වැදගත් තොර තුරු වලින් පුරවා ගත යුතුය. ඒ අනුව පිලිකා කාරක ආදේශක පොල් තෙල් ගෙන්වූ සමාගම් හතර අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, සේන මිල්ස් පිරිපහදුව,එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන පිරිපහදුව යන ආයාතන බව සිහි තබා ගත යුතුය. ඔවුන් විසින් තමන්ගේ නිෂ්පාදන බෙදා හැරීමට භාවිත කරන සන්නාමයන් වන්නේ පිළිවෙලින් “මෙඩි සිලෝන්”,”සේන ඔයිල්ස්”, “එදිරිසිංහ ඔයිල්ස්” සහ “කොකොටානා” යන සන්නාමයන් වේ. මීට අමතරව මෙම සමාගම් විසින් දේශීය වෙළෙඳ පොළට අවශ්‍යයවන ආහාරමය පොල්තෙල් අවශ්‍යයතාවය පිරවීම පිණිස සන්නාමයන් රහිතව සිල්ලර වෙළෙඳ පොළට සහ බේකරි ඇතුළු වෙනත් නිෂ්පාදනය කිරීම සඳහා ද මෙම ආදේශක පොල් තෙල් බෙදා හරිනු ලබයි.

ඉහත ආදේශක විෂ පොල් තෙල් ගෙන්වූ සමාගමක් වන කටාන තෙල් පිරිපහදු සමාගම ශ්‍රී ලංකාවේ පවතින නීති රාමුවේ හිල් අතරින් රිංගා අපූරු ලෙස ලාභ ලබන සමාගමක් බවට වාර්තා පලවේ. ඔවුන් දේශීය වශයෙන් පොල් මිළදී ගෙන පොල් තෙල් නිපදවා අපනයනය කරණ බව එම වාර්තා පවසයි. ඊට සමාන්තරව ඔවුහු ආදේශක පොල් තෙල් ආනයනය කර බෙදා හරින බව ද පැවසේ. ඒ අනුව අපනයනය කරුවෙකු ආනයනය කිරීමේදී රජයෙන් ලැබෙන බදු සහනය බුක්ති විඳීමටද කටාන තෙල් පිරිපහදු සමාගම කටයුතු කරන බවට  චෝදනා එල්ල වෙන බව එම වාර්තා දෙස් දෙයි. එම වාර්තා සත්‍යය නම් ගුණාත්මක පොල්තෙල් රට පටවා විෂ සහිත ආදේශක තෙල් ආනයනය කර අපට “කොකොටානා” නමින් කවා නීත්‍යානුකූල බදු සහනයද කටාන තෙල් පිරිපහදු සමාගම ලබා ගනිති.

ඉහත කී විෂ සහිත ආදේශක පොල්තෙල් ආනයනය කළ සමාගම් අතරින් “සේන මිල්ස්” සහ “එදිරිසිංහ එඩිබල් ඔයිල්” සමාගම ශ්‍රී ලංකාවේ හෝටල් වලින් භාවිත කර ඉවත් කරන ලද පොල් තෙල් සහ වෙනත් කුමන හෝ මට්ටමේ ඇති පොල් තෙල් නමින් ඇති භාවිතයෙන් ඉවත් කරන ලද තෙල් මිළට ගනී. සමහර සමාජ ජාල ක්‍රියාකරුවන් පවසන පරිදි එම ආයාතන එම තෙල් විරංජනය කර නැවත වෙළෙඳ පොළට එවති.

මෙම නිෂ්චිත මොහොතේදී විෂ සහිත ආදේශක පොල් තෙල් ගෙන්වූ බවට අනාවරණය නොවූ මෙන්ම බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යයවරයා විසින් සිය පාර්ලිමේන්තු කතාවේදී විශේෂයෙන් සඳහන් කළ සීනි බදු වංචාවට සම්මාදම් වූ සජාඩ් මවුසූන් ගේ පිරමිඩ් විල්මා සමාගම මැලේසියාවෙන් ආදේශක පොල්තෙල් ගෙන්වමින් එවැනි තෙල් ආනයනය කිරීමේදී විශාලම පංගුවට හිමිකම් කියන සමාගම බවට පත්වී තිබේ. එම සමාගම “ෆෝචුන්” නමින් ආහාර පිසීමට තෙල් වර්ගයක් මෙන්ම මාගරින් වර්ගයක්ද වෙළෙඳ පොළට නිකුත් කරයි.

ආනයනික ආදේශක පොල්තෙල් වෙළෙඳ පොළේ දෙවෙනි විශාලතම කොටස අත්පත් කරගෙන සිටින්නේ ආදම්ජි ලුක්මන්ජි ආයාතනයයි. ඔවුන් වෙළෙඳ පොළට ඉදිරිපත් කරන ආදේශක පොල් තෙල් වර්ගය වන්නේ “එන් ජෝයි”නම් සන්නාමය සහිත ආදේශක පොල් තෙල් වර්ගයයි.

තවද ශ්‍රී ලාංකීය ආදේශක පොල්තෙල් වෙළෙඳ පොළෙහි ” මරීනා” නමින් ඇති ආදේශක පොල් තෙල් වර්ගය ආනයනය කර බෙදා හරින්නේ නාරද හෝල්ඩිංග්ස් නැමැති සමාගමයි.

ආදේශක පොල් තෙල් වලට “හලාල්” සහතිකය නැතිද?

මේ වන විට ආදේශක පොල් තෙල් වෙළෙඳ පොළේ ඉතා සුළබය. ඒ අතර ආදේශක පොල් තෙල් ආනයනය කළ සමාගම් හතරක් විසින් ඉතාම නුදුරු කාලයේදී ආනයනය කළ ආදේශක පොල් තෙල් මිනිස් පරිභෝජනයට නුසුදුසු උග්‍ර පිළිකා කාරක බව වග කිවයුතු පර්යේෂණ ආයාතන තුනකින් කළ සාම්පල පරීක්ෂාවලින් තහවුරු වී තිබේ. මේ අතර මෙම ලියුම්කරු වෙත අදහස් දැක්වූ සමාජ ජාලා ක්‍රියාකරිකයෙකු පවසා සිටියේ ආදේශක පොල් තෙල් ආනයනය කරන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංනාම සහිත ආදේශක පොල් තෙල් බෝතල් වල  ලේබලයේ පවා “හලාල්” සහතිකය ඇති බව ප්‍රදර්ශනය නොකරණ බවයි. ඔහු පවසන දේ මේ ලියුම්කරුට සත්‍යය යැයි සෘජුවම ලිපිය ලියන මොහොතේ ප්‍රකාශ කළ නොහැකි වුවද එම ප්‍රකාශ සත්‍යයක් වන්නේ නම් අදාල ව්‍යාපාරිකයන් ව්‍යංගයෙන් මුස්ලිම් ජාතිකයන්ට ආදේශක පොල් තෙල් ආහාරයට නොගන්නා ලෙස දන්වා සිටී.

කරුණු කෙසේ සලකා බැලුවද ආදේශක පොල් තෙල් ආනයනය කළ සමාගම් හතරෙහිම සාම්පල් තෙල්වල ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව තහවුරු වීමෙන් පෙනී යන්නේ 69 ලක්ෂයේ ජනතාවගේ උර මත පැටවී ඇත්තේ සුළු පටු වගකීමක් නොවන බවයි.

අනිත් අතට රජයේ පාර්ශවයෙන් ආදේශක පිළිකා කාරක විෂ පොල් තෙල් විනාශ නොකර ආපසු ආනයනය කළ රටවලටම හරවා යවන්නේ එම රටවල මිනිසුන්ගේ පරිභෝජනයට ඒවා සුදුසු දැයි හැඟෙන නිසාදැයි ප්‍රශ්නයක් පැන නගී. අනිත් අතට මෙතරම් විෂ කන්දරාවක් රටට ආනයනය කළ සමාගම් වලට මෙතරම් සහනයක් ලබාදෙන්නේ මන්දැයි යන්න නොවිසඳුණු ගැටලුවකි. එම ගැටළුවේ ගැඹුර තවත් තීව්‍ර වන්නේ මේ වන විට වෙළෙඳ පොළේ ඇති ආදේශක පොල් තෙල්වලද මෙම විෂ කාරකය අඩංගුදැයි පරීක්ෂා නොකරන්නේ කාගේ වුවමනාවටදැයි දෙයියෝද නොදනිතයි යන්න තහවුරු වීම මගිනි.

ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More