1971 අප්‍රේල් අරගලය මෙරට තුන්වන නිදහස් අරගලයක් බවට කිසිදු සැකයක් නැත.ධවල අධිරාජ්‍යවාදයට එරෙහිව වූ පළමු වන නිදහස් අරගලය 1818 ඌව වෙල්ලස්ස අරගලය වන අතර දෙවන නිදහස් අරගලය 1848 මාතලේ අරගලය ද 1971 අප්‍රේල් ජනතා නැගිටිම යනු 20 වන සියවසේ හිරු නොබසින අධිරාජ්‍යයට එරෙහිව යටත් විජිත රටක පැන නැඟුණු අවසන් සන්නද්ධ නිදහස් අරගලය යැයි කීම වඩාත් නිවැරදි ය. අරගලයේදී ජයග්‍රහණය ලැබූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදි, යටත්වාදී එවක රජය පිළිබඳව මෙම අරගලය සමාජ ගත කළේ හුදු රජයට එරෙහි වූ ළදරු වලිප්පු පන්නයේ කැරැල්ලක් ලෙසය. නමුදු එය කිසි ලෙසකින් වත් එලෙස අහම්බයක් හෝ හුදෙකලාව පැන නැඟුණු අරගලයක් නොවීය. මෙම අරගලය යනු හුදෙක් තරුණ අසහනයේ ප්‍රතිඵලයක් ලෙසින් හෝ වෙනත් පටු හා පෞද්ගලික අරමුණු වෙනුවෙන් පැන නැංගා වූ තවත් එක් කැරැල්ලක් ලෙස අර්ථ දැක්වීම මෙරට දේශපාලන සමාජගත කිරීම් හි වාමාංශික මෙන්ම දක්ෂිණාංශික දේශපාලන කුහකත්වය මත පදනම් වූ ස්ථානගත කිරීමකි. 1948 “නාමික නිදහසින්” පසු දශක දෙකකට පසුව ඇති වූ මෙකී අරගලය පිළිබඳව කිසි කියැවීමක් මෙතෙක් නොකළ බවත්, වටහා නොගත් බවත් ප්‍රකාශ කළ යුතුවා සේ ම වත්මන් අප රටත් ජාතියත් මුහුණ පා ඇති ඛේදජනකයන් හා පසුගාමීත්වයන් හමුවේ 1971 අරගලය අළුතින් කියවිය යුත්තේය. ඒ නව නිදහස් අරගලයක් උදෙසාය.
1971 අරගලය හුදු කැරැල්ලක් පමණක්ම නොව එය මෙරට සමාජ ආර්ථික දේශපාලන ප්‍රවාහයේ සාධනීය පෙරළියකට මං පෙත් විවර කරන ලද සමාජ දේශපාලන අරගලයක් බව අප වටහා ගත යුත්තේය. අරගලයට නායකත්වය දුන් රෝහණය විජේවීරයන් මෙන්ම අරගලයට සම්බන්ධ වූ බොහෝ දෙනෙක් අවුරුදු 30ට වඩා තරුණ පිරිසක් වුවත් ඔවුන් තුළ තුබූ සමාජ ආර්ථික දේශපාලන අභිලාශයන් හා පොදු පරමාර්ථයන් වඩ වඩාත් මුහුකුරා ගිය ඒවා මෙන්ම ජාතික නිදහසක් සඳහා වූ අරගලයකි. අප රටක් ලෙසට එදා මෙන්ම අදත් ලුහුබඳින්නේ මේ උදාරතර වූ මව්බිමේ උස් නිදහසය. 71 නිශ්චිත දිග පළලකින් කියවිමේදී අරගලයට මුහුණ දුන් ව්‍යාපාරයට නායකත්වය දුන් රෝහන විජේවීරයන්ගේ භූමිකාව නිවැරදිව වටහා ගත යුත්තේය. විවිධ පාර්ශවකරුවන් දේශපාලන කුහකත්වය නිසාවෙන් ඔහු පිළිබඳව නිවැරදි කියවීමක් නොවන්නා සේ ම අරගලය පිළිබඳව නිවැරදි වටහාගැන්මක් අදටත් අපට නැත්තේය. 71 තුන්වන නිදහස් අරගලයට අඩ සියවසක් සපිරෙන මේ මොහොතේ අපත් රටත් මුහුණ පා සිටින අභියෝගයන් මෙන්ම ඛේදවාචකයන් බොහෝය. අද අපටත් රටටත් වූ විපතින් මුදවා ගැනිමේ “නව නිදහස් අරගලයක් උදෙසා” 1818 ද 1848 මෙන්ම 1971 ද නිසි ලෙස කියවිය යුත්තේය. එසේ වූ පමණින්, පමණක් මේ රට මේ අර්බුදයන්ගෙන් මුදවා ගැනීමේ නව නිදහස් අරගලයක් සඳහා දිශානතියක්, බලවේගයක් නිර්මාණය කරමින් එය ජයග්‍රහනය දක්වා කැටුව යා හැකිය. එනිසාම පුද්ගලික දේශපාලන දෘෂ්ඨියෙන් මිදී ජාතික නිදහසක් දිනා ගැනීමේ පුළුල් අභිලාෂයක් මෙන්ම පොදු ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා 1971 අළුතින් කියවිය යුත්තේය.
මෙරට මෙතෙක් වූ දිර්ඝතම අපරාධ නඩු විභාගය “1971 කැරැල්ල” නම් නඩු විභාගය වන අතර එය අවුරුදු දෙකහමාරක් පුරා දින 300ක් විභාග කරන ලද අතර නඩු පොතට පිටු 1200ක් නඩු වාර්තා ගොනු වූ නඩු විභාගයක් විය.
1972 අංක 14 දරණ අපරාධ යුක්ති විනිශ්චය කොමිසම 1972 මැයි මස 10 වන දින පත් කරන ලද අතර 1971 කැරැල්ල පිළිබඳ නඩුව 1972 අගෝස්තු 10 වන දින බෞද්ධාලෝක මාවතේ “ක්වීන්ස් ක්ලබ්” ගොඩනැගිල්ලේ දී ආරම්භ කරන ලද අතර 1974 සැප්තැම්බර් 02 වන දින නඩු විභාගය අවසන් කරන ලදි. ඉක්බිතිව 1974 දෙසැම්බර් 19 වන දින එවකට ජනපති විලියම් ගොපල්ලව මහතා වෙත භාර දිමෙන් අනතුරුව ඊට පසු දින තින්දුව ප්‍රකාශයට පත් කෙරිණි. එම තීන්දුව මඟින් නායක රෝහණ විජේවීරයන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වුවද අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනතට අනුව කිසියම් වරදකරුවෙකුව එවැනි දඬුවමකට යටත් කිරිමට බලයක් නොමැති හෙයින් පසුව රෝහණ විජේවීරයන්ගේ දඬුවම අවුරුදු 20ක් ලෙසට සංශෝධනය කරන ලදි.
සැකකරුවන් 41 දෙනෙකුව නම් කරන ලද අතර නඩුවේ 13 වන චූදිතයා වූයේ රෝහණ විජේවීරයන් වන අතර කැරැල්ලට සම්බන්ධ තවත් නඩු 134ක් විභාග කර ඇති අතර චෝදනා එල්ල වූ සංඛ්‍යාව 2917 ක් වූ අතර 2319 දෙනෙකු වරද පිළිගන්නා ලදි. කොමිෂම පිළිබඳව වූ සිය ස්ථාවරත්වය නොබියව රෝහණ විජේවීර ප්‍රකාශ කරනු ලැබීය. එහි සදාචාරාත්මක බව හා නීත්‍යානුකූල භාවය පිළිබඳව ප්‍රශ්න කරමින් මෙම පනත “ස්වාභාවික යුක්ති ධර්මයට” පටහැනි නොවේද යන්නත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවේද යන්නත් කොමිෂමෙන් ප්‍රශ්න කළේය. ඒ අනුව කොමිෂම ප්‍රකාශ කර සිටියේ පණත පිළිගැනීමට හෝ නොපිළිගැනීමට හෝ සළකා බැලීමටවත් කොමිෂමට කිසිදු නෛතික බලයක් නොමැති බවය.
එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීමෙන් අනතුරුව අගමැති ජේ.ආර්.ජයවර්ධන මහතා ජාතික රාජය සභාවට ප්‍රකාශ කර සිටියේ “අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව” ඉවත් කිරීමට කටයුතු කරන බවය. ඒ අනුව එවකට අධිකරණ ඇමති කේ.ඩබ්ලිව්.දේවනායගම් මහතා විසින් ජනාධිපති විලියම් ගොපල්ලව මහතා වෙත එම තීන්දුව ඉදිරිපත් කිරිමෙන් අනතුරුව 1977 නොවැම්බර් 02 වන දින රෝහණ විජේවීර ඇතුළු සැකකරුවන් සියලු දෙනාව නිදහස් කරන ලදි.
කෙසේ වෙතත් 71 අප්‍රේල් කැරැල්ල පිළිබඳව වූ නඩු විභාග කරන ලද කොමිෂන් සභාව බ්‍රිතාන්‍ය මහ රැජිණගේ පක්ෂපාතිත්වය ලබා ගැනීම වෙනුවෙන් හා ස්වදේශික ජනයාගේ සමාජමය නිදහස, දේශපාලන නිදහස, සංස්කෘතික නිදහස හා ආර්ථික නිදහස තවදුරටත් සිරගත කොට තැබීම සඳහා වු ව්‍යවස්ථාපිත උප්පරවැට්ටියක් සේ ම තවදුරටත් යටත් විජිත රටක් බව ස්වකැමැත්තතෙන් පක්ෂග්‍රාහී වීමේ කොමිෂමක් මෙරට උස් නිදහස බලාපොරොත්තුව ජනතාවගේ නිදහස් අරගලය පොඩි පට්ටම් කිරීම සඳහා වූ නිතිමය බාධකය වූයේ මෙම ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනි වූ මෙම කොමිෂමයි. මෙකි තත්වය මෙම කොමිසම ස්ථාපිත කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විවාදයේදී ඩබ්ලිව්. දහනායක මන්ත්‍රීවරයා දැඩි ලෙස චෝදනා එල්ල කරන ලදි. තම රටේ උත්තරීතර නිදහස අගයන ඒ වෙනුවෙන් අරගල කරන සටන් කරන ජනතා විමුක්ති පෙරමුණේ අයට අපරාධකරුවන් ලෙස හංවඩු ගසා ත්‍රස්තවාදීන් යැයි ලේබල් ගැසිම නින්දා සහගත බවත් ඕනෑම රජයකට විරුද්ධව කැරලි ගැසීමට අයිතියක්, නිදහස් හා ස්වෛරීත්වටය අපේක්ෂා කරන ස්වදේහිකයන්ට ඇති බවයි. ඒ අනුව මෙම කොමිෂම නීති විරෝධී හා යුක්ති යුක්ත නොවන්නක් සේ ම විදේශ විනිමය වංචා විමර්ශණය සම්බන්ධ කරලා. ඉන් දේශපාලන සිරකරුවන්ට අගතියක් හා කීර්තිනාමයට කැලලක් ඇති වෙනවා පමණක් නොවේ. එම රටේ නමගිය ලේක්හවුස් කාරයා ඇතුළු ශත වර්ෂයක් තිස්සේ ජාතික ධනය කොල්ලකෑ ඉහළ ජාවාරම්කාරයෝ මේ කොමිෂම හමුවට ගෙන්වන්නේ දැයි අසමින් ඩබ්ලිව්. දහනායක මෙම කොමිෂම නිර්දය ලෙස විවේචනය කරන ලදි. එසේම අත්අඩංගුවට ගෙන නොමැති අය වෙනුවෙන් ද දඬුවම් දීම නිසා මෙවැනි කොමිෂමක් මුළුමණින්ම මානව විරෝධී කොමිෂමක් බවද ප්‍රකාශ කරන ලදි.
රටක අණපනත් සකස් විය යුත්තේ මෙරට ජාතික ධනය, ජාතික සම්පත් ශත වර්ෂයක් තිස්සේ කොල්ලකා ගෙන තිබෙන ජාවාරමුන්ට මිසක් මේ රටේ උත්තරීතර නිදහස අගයන, ස්වෛරීත්වය අපේක්ෂා කරන කොටින්ම ජාතික නිදහස දිනාගැනීමේ අභිලාශය පෙරටු කොටගත් ඔවුනට එරෙහිව නොවන බවය. මෙම පනත 1915 මෙරට ඇති වූ සිංහල – මරක්කල කෝලාහලයේදී ඇති කරන ලද “කෝට් මාෂල්’ වැනි තිරශ්චීන උසාවියක් පිහිටුවීමට සමාන බවයි. නියමාකාරයේ සාක්ෂි නොවීම හා ප්‍රශ්න ඇසිමක් නොකොට උසාවියට ඇති බලතල හා වරප්‍රසාද නොසලකා හරිමින් මිලිටරි නීතිය යටතේ දඬුවම් පැමිණවීම් ක්‍රියාදාමයද මෙම පනත මඟින් සිදුවන බවයි. 1915 පිහිටුවන ලද “කෝට්මාෂල්” නීතිය යටතේ හෙන්රි පේද්‍රිස් මහතාට ඒ ආකාරයට වෙඩි තබන්න නියෝග කළ පසු ඔහුගේ පියා ආණ්ඩුකාරයා ළඟට ගොස් “මාගේ පුතාගේ බරට මම රත්තරන් දෙන්නම්. පුතා බේරා දෙන්න.” යැයි ඉල්ලුවත් කිසිදු දෙයක් නොවිමසා ඔහුට වෙඩි තබන්නට නියෝග කළා සේ ම ඔහුව මරා දැම්මා. මේ ආණ්ඩුව මේ කොමිෂම හරහා කරන්නේත් ඒ දේ ම නොවේදැයි ඩබ්ලිව්. දහනායක පෙන්වා දෙනු ලැබුවා. මේ අනුව මෙම අරගලයට සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණේ අරගලකරුවන්ගේ මූලික අයිතින් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව මඟින් අහෝසි කරනු ලබනවා. මෙම පනත ගෙන ඒමේ ප්‍රබල වුවමනාව ඇත්තේ පිලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇමතිතුමාට බව වඩාත් පැහැදිලියි. අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අරමුණු පුනරුත්ථාපන ක්‍රමයයි.
ලෝකයේ අධිරාජ්‍යවාදී වියගහට යටත් වූ බොහෝ රටවල තම නිදහස, ස්වෛරිත්වය වෙනුවෙන් විප්ලව සහ අරගල කරනු ලබන්නේ යුක්ති සාධාරන සමාජවාදී සමාජයක් සඳහා වූ පොදු විශ්වාසයන්, පොදු අරමුණක් පෙරදැරි කරගෙනය. දිර්ඝ කාලයක් තිස්සේ යටත් විජිත රටවල ස්වදේශික මිනිසුන්ගේ පොදු අපේක්ෂාව වූයේ අධිරාජ්‍යවාදයෙන් මෙන්ම යටත් විජිත වහල් භාවයෙන් මිදිමේ නිදහස ලබා තම උපන්බිමට උස් නිදහස හා විමුක්තිය ලබා ගැනීමේ උසස් අරමුණය. ඒ අනුව 1945 ලෝක යුද්ධය අවසානයෙන් පසුව බ්‍රිතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිත භාවයෙන් මිදිමේ නිදහස් හා විමුක්තිය ූදෙසා වූ සමාජ දේශපාලන හා ව්‍යාපාර බොහෝ රටවල බිහිවිය. එම ව්‍යාපාර වල එකම අරමුණ වූයේ තම රට යටත් විජිතවාදයෙන් මුදවා ගැනිමේ පොදු අරමුණය. බරපතල ආක්‍රමණයක් හමුවේ නිදහස දිනාගැනීමේ ජයග්‍රාහී අරගලයන්හි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් හා වීරත්වයක් අපට හිමිය. රජ දවස පටන් බරපතල ආක්‍රම්‍ය 15 ක් – 16 ක් පරාජය කරමින් මේ රටට උස් නිදහස ගෙන ආ වීරෝධාර මුතුන් මිත්තන්ගේ වීරත්වයේ ජානගත පරම්පරාවක් වූ අප ලොව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව පළමුව ජයග්‍රාහී තීරණාත්මක සටන් කළ ජාතියකි. 1818, 1848 එවන් ඓතිහාසික නිදහස් අරගලයන්ය. ලොව කිසිදු ජාතියක් මෙවන් වීරෝධාර, වික්‍රමාන්විත ශ්‍රේෂ්ඨ අරගල නොකළ අතර මව්බිමේ උස් නිදහස වෙනුවෙන් දිවි දෙවනි කොට පොදු අරමුණු පෙරදැරිව තම උපන් බිමේ හතුරාට එරෙහිව අභීතව සටන් කළ ජාතියක් වේ නම් ඒ මෙරට ස්වදේශික සිංහලයන්ය.
අතීතයේ පටන් මේ රට ආක්‍රමනිකයාගෙන් බේරා ගැනීම සඳහා කරනු ලැබූ නිදහස් අරගල වලදී ඒකාත්මිකව බැඳුණු පොදු අරමුණ, පොදු ඉලක්කය බවට පත් වූයේ මාතෘභූමියේ නිදහසයි. එමෙන්ම නිදහස හා බැඳුණු යුක්ති යුක්තභාවයයි. අසාධාරනයට එරෙහිව සාධාරණයත් හා අයුක්තියට එරෙහිව යුක්තියත්, යටත්වාදය වෙනුවට ස්වෛරී නිදහසත් ඉහළින්ම අපේක්ෂා කරමින් අරගල කිරීමේ කැපකිරීමක් සේ ම ජීවගුණයක් 1971 අප්‍රේල් අරගලයේදී වඩාත් ඉසුමතුව පෙණුනි.
එය වඩාත් වටහා ගත හැක්කේ අරගලයට නායකත්වය දුන් රෝහණ විජේවීර කොමිෂම හමුවේ කළ පළමු ප්‍රකාශයෙන්ය.
“මා නීතිය ගැන නොදනි. ඒ නිසා ඒ ගැන කතා නොකරමි. නමුදු යුක්තිය වෙනුවෙන් හා පිතෘභූමියේ නිදහස වෙනුවෙන් කතා කරනවා.” යැයි ඔහු නොබියව ප්‍රකාශ කරන ලදි.
71 අළුතින් කියවිම වෙනුවෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවේදි එම ව්‍යාපාරයට නායකත්වය ලබා දුන් රෝහන විජේවීර දුන් ප්‍රකාශ වල අන්තර්ගතය ඉතාමත් වටිනා ප්‍රකාශනයකි. එය සමස්ත 71 ව්‍යාපාරයේ අරමුණු, ඉලක්කයන් හුදු පෞද්ගලික ඒවාද එසේත් නැතිනම් පොදු අරමුණු හා බැඳුණු මව්බිමේ උස් නිදහස සඳහා වූ අභිලාෂයන්දැයි වටහාගත හැකිය. දේශපාලන කුහකත්වයන් පසෙකලා එම ප්‍රකාශණය නිශ්චිතවම වටහා ගන්නේ නම් සමස්ථ අප්‍රේල් අරගලයේ පොදු බව, ජීවිත පරිත්‍යාගයන්ගේ උදාරතර පොදු අරමුණු, සියලු ආකාරයේ ජිව ගුණයන්ගේ අපරිමිත කැපකිරීම හා පරිත්‍යාගයන් මව්බිමේ උස් නිදහස වෙනුවෙන් වූ අප්‍රතිහත ධෛර්යය කැටි වූ පොදු අරගලයක් සේ ම ජාතික විමුක්තිය උදෙසා වූ අව්‍යාජ අරගලයක් බව ප්‍රකාශ කළ හැකිය.
71 දිවිපිදුවන්ගේ මෙන්ම අරගලයට පණ දුන් සියලු අයගේ එකම අරමුණ වූයේ උපන්බිමේ උස් නිදහස හා විමුක්තිය උදාකර ගැනිමේ පුළුල් හා ගැඹුරු අපේක්ෂාවය. අරගලය තාවකාලිකව ලෙයින් කඳුලින් පරාජය වුවද එය සිදුවි වසර 50ක් ගතවන මේ මොහොතේද අප මව්බිම අභිමුවේ ඇත්තේ රටටත් අපටත් වූ විපතින් ගලවා ගැනිම සඳහා නව නිදහස් අරගලයක ගමන් මඟය. වසර 73ක් පුරාවටත් 71 අරගලයෙන් වසර 50කට පසුවත්, විවිධාකාරයේ අනවරත සාමාජීය, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ඛේදවාචකයන්ගේ ගැලවුම්කරුවා වනුයේ නව නිදහස් අරගලයක් සඳහා වූ සමාජ දේශපාලන ව්‍යාපාරයකි. අද එම උත්තුංග ව්‍යාපාරයකට නායකත්වය දුන් රෝහණ විජේවීරයන් සේ ම එම ව්‍යාපාරය හා අරමුණ වෙනුවෙන් දස දහස් ගණන් සගයන් පොදු අරමුණ වෙනුවෙන්ම දිවි දී හමාරය. 71 දීත් 89 දීත් දිවි මුදාහල විරුවන්ගේත් වීරවරියන්ගේත් ජීවගුණය හා උස් බලාපොරොත්තු ඉල්ලා සිටින්නේ මව්බිමේ උස් නිදහසය. 1974 ජීවිතාන්තය තෙක් කොමිෂම මඟින් සිරගෙට නියම වූ රෝහණ විජේවිරයන් කියා සිටියේ “1971 අප්‍රේල් සිද්ධීන් වලින් විශාල ලෙස බලපා ඇත්තේ මේ රටේ නිර්ධන පංතියයි. විප්ලවවාදි ව්‍යාපාරයයි. අපේ සගයන් දහස් ගණනක් අද ජීවතුන් අතර නැ.මම මේ රටේ ධනපති පාලකයන්ගෙන් මගේ සගයන්ගෙන් ලේ වලට ලේ වලින් වන්දි ඉල්ලන්නේ නැහැ.ඒත් අපිට අයිතියක් තියෙනවා සභාපති තුමනි.ඒ ලේ වලට වන්දි ලෙසින් මේ රටේ ජනතාවට සතුට සැපත සෞභාග්‍යය ඉල්ලන්න.”
මෙය අද ද වලංගු ප්‍රකාශයක් මෙන්ම සමාජ භාවිතාවක් කළ යුතු සත්‍යයකි. 71 අරගලයේදීත් 89 අරගලයේදීත් දිවි පිදූ සගයන්ගේත් සටන් කළ සගයන්ගේත් ඒකාත්මික අරමුණ වූයේම මවුබිමේ දුක් විඳින් මිනිසුන්ගේත් මව්බිවේ උන්නතිය උදෙසාත් ජාතික නිදහසක් ජාතික අභිලාශයක් වූ වඩ වඩාත් යහපත් රටක් උදාකරලිමය. එය එදා මෙන්ම අදටද හෙටටද වලංගු සත්‍යයකි. එදාට වඩා අද අප සමස්ත සමාජයම ඛේදවාචකයේ පාරාදිසයක්ය.අපටත් රටටත් අත්වී ඇති මෙකි බහුවිධ විපත්තීන්ගෙන් මේ මාතෘ භූමිය මුදවා ගැනීමේ වගකීම අපට ඇත්‍තේය.එනිසාම 1818ට වඩා 1848 ද 1848 ට වඩා 1971 ද 1971ට වඩා 1989 ද නිසි ලෙස වටහාගෙන කියවිය යුත්තේය. ඒ මවුබිමට උස් නිදහස කැටුව එනු පිණිස සමාජ දේශපාලනන ව්‍යාපාරයක් ගොඩනගා එය ජයග්‍රහණය දක්වා ගෙන යාමටය.
අනුරාධ තෙන්නකෝන්
සභාපති
ජාතික ගොවිජන එකමුතුව
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...