උවිඳු විජේවීරගේ දේශපාලන ආගමනය අද ලංකාවේ අංක එකේ මාතෘකාවක් වෙලා. හරියට නිකං දැන් මාකට් එකේ තියන පොල්තෙල් වගේ. කවුරුත් කතා කරනවා. හැබැයි උවිඳුගේ මේ දේශපාලන ආගමනයෙන් එක දෙයක් ආයෙත් ඔප්පු උනා. ඒ තමයි පොල්තෙල්වලට වඩා පිළිකා කාරක ලංකාවේ දේශපාලනය ඇතුළේ තියනවා කියලා. අපේ රටේ අලුත් පරම්පරාව දැන් උවිඳු ගැන හොයන්න පටන් අරන්. ඒ එක්කම තව පරම්පරාවක් උවිඳුගේ දෙවෙනි පරපුරට ගහන්න පටන් අරන්. කවුද මේ උවිදුගේ දෙවෙනි පරපුරට ගහන්නේ කියලා බැලුවා. හත්වලාමේ බලනකොට මමත් අයිති පළවෙනි පරපුරේ කට්ටිය. මට එක පාරටම හිතුනා පළවෙනි පලපුරෙන් ඉල්ලා අස්වෙන්න.
මටත් උවිඳුව හම්බවෙන්න ලොකු ආශාවක් තිබුණා. ඒ දේශපාලන අර්ථයකින් නම් නෙවෙයි. රෝහණ විජේවීර සහෝදරයාගේ පුතා ජීවමානව දකින්න ආශාවක් මට තියනවා. ඒත් දැන් නං ටිකක් මොකද්ද මොකද්ද වගේ. ඒකත් උවිඳුට තවත් අමතර ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ කියලා එක වෙලාවකට හිතෙනවා. මම නිසා මොකටද අනේ උවිඳුට තවත් ප්‍රශ්නයක් ඇති කරන්නේ කියලා. ඇත්තටම රතු බටෑලියන් එකට නං උවිඳු සහරාන්ටත් එහා ගිය අපරාධකාරයෙක්. ඒ පෝස්ට්වල තියෙන්නේ ඒයි උවිඳු, මංකොල්ලකාරයා, ඔහොම නැවතියන් වගේ භයානක කතන්දර.
කොහොම උනත් මමත් පිලිගන්නවා උවිඳු රතු බලකොටුව පැත්නේ නොගියට එයාලව මානසිකව වට්ටලා ඉවරයි කියලා. ආක්‍රමණය කළාට පස්සේ කොහොමත් ඊළඟට වෙන්නේ මංකොල්ල කෑම තමයි. හැබැයි මේක අමුතු ජාතියේ මංකොල්ල කෑමක්.සොදුරු මංකොල්ල කෑම් කියන්නේ මේවට වෙන්න ඕනි.
එදා උවිඳුගේ තාත්තා,රෝහණ විජේවීර සහෝදරයාව දේශපාලන වශයෙන් මරන්න බැරි නිසා ශාරීරීක වශයෙන් මරලා දැම්මා. ඒක කළේ මේ රටේ ධනපති පාලකයෝ. අද උවිඳුට වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. උවිඳුට තවම නං ශාරිරික වශයෙන් තර්ජනයක් නැතිව ඇති. ඒ උනාට පළවෙනි මොහොතේම උවිඳුව දේශපාලන වශයෙන් ඝාතනය කරන්න හදනවා. වැඩේ තියෙන්නේ එක කරන්න හදන්නේ නිර්ධන පන්තියේ අපේම සහෝදරවරුනේ. එක අතකින් උවිඳුට ඔහොම වෙන්නත් ඕනි. යකඩේ හැලෙන්න තැලෙන්නලුනේ මුවහත් වෙන්නේ. ඒත් දුක කියන්නේ උවිඳුට මේ ගහන්නේ වානේ පන්නරය ලැබූ හැටි පොත කියවපු කට්ටිය. හරියට වෘකයන් අතර නග්නව වගේ.
හැබැයි ඉතින් එයාලගේ සිලබස් එකේ තියන පොත් අතරින් උවිඳු අම්මා පොතවත් කියවලා ඇති. ඒත් ඒක මම හරියටම දන්නේ නෑ. උවිඳුගේ පළවෙනි රූපවාහිනි සංවාදය බලපු දවසේ මම එකක් අදුනගත්තා. ඔය මොන පොත කියවලා තිබුණත් නැතත් උවිඳු හරියට එක පොතක් නං කියවලා තියනවා කියලා. ඒ තමයි තාත්තා පොත. තාත්තා කියන්නේ පොතක් නෙවෙයි පුස්තකාලයක්. හරියට අර කාලකණ්නි ගිනි තිබ්බ යාපනේ පුස්තකාලය වගේ එකක්. සමහරවිට ආසියාවේ ලොකුම පුස්තකාලය ඒක වෙන්නත් පුළුවන්. ලංකාවේ තිබුණ ලොකුම පුස්තකාල දෙකටම උන් ගිනි තිබ්බා.
උවිඳු පොඩි එකා උනත් ඔය මහ නායකයන්ට මෙච්චර කාලයක් නොතේරුණ දේශපාලන නාඩිය නං පළවෙනි වටයෙදීම හරියටම ඇල්ල ගත්තා. උවිදු සමාජවාදය ගැන දේශනා කරන්න ගියේ නෑ. නිර්ධන පන්ති ආඥාදායකත්වය ගැන කතා කළේ නෑ. උවිඳු කිව්වේ ධනවාදයත් සමාජවාදයත් අතර මැද මාවතක් ගැන විතරයි.
උවිඳු කරපු තවත් හොද දෙයක් තමයි මාක්ස්ට, එංගල්ස්ට,ලෙනින්ට,මාවෝට අයිතිවාසිකම් කියන්න නොගිය එක. කොටින්ම කිව්වොත් ලෙනින් ඉතින් එයාගේ නෝනා වෙච්චි කෘප්ස්කෙයාටවත් අයිති නෑ. කෘප්ස්කෙයා දැන් හිටියා නම් එයාට උනත් ලෙනින් ගැන කතා කරන්න වෙන්නේ ටිල්වින්ගෙන් අහලා. ඒක හින්දා උවිඳු එයාලා ඔක්කොම එයාලටම දීලා දෑම්මා. උවිඳු විප්ලවයට යන්න දෑකැත්තයි, මිටියයි අතට ගත්තෙන් නෑ. ඒ දෙකම එයාලට දීලා නිකං හිටියා.
හැබැයි උවිඳු මල්වට්යක් විතරක් අතට ගත්තා. මල්වට්ටිය අතට අරන් එදා විප්ලවය කරන්න තුවක්කුව අතට ගත්තු 71 කේ තාත්තගේ පරපුරේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට කතා කළා. මල්වට්ටිය අතට ගත්තු උවිඳු ඒකෙන් ලොකු පණිවිඩයක් දුන්නා, අපේ රතූ කමිස විප්ලවවාදී සහෝදරවරුන්ට. උවිඳු කිව්වා උඹලට අඳුන ගන්න බැරි වුන මේ රටේ සංස්කෘතික දේශපාලනය මම අඳුන ගත්තා කියලා. මේ රටේ සංස්කෘතිය තේරුම් ගත්තු දේශපාලන ව්‍යාපාරයකට පණ දෙන්න මම ලෑස්තියි කියලා.
උවිඳු හෙට දවසේ තවත් ගොඩක් දේවල් කරාවි. ජවිපෙ හිටපු නායක සෝමවංශ සහෝදරයාටවත් කරන්න බැරි වුණ දේත් කරාවි. එකක් තමයි කැඩිලා බෙදිලා ගිය රතු සහෝදරවරු ටික සමගි කරන එක. මොකද ඔය දෙතුන්ගොල්ලොම උවිඳුට ගහන්න සමගි වෙනවා වෙනවාමයි. අනික තමයි උවිඳුගේ තාත්තාටත් කරන්න බැරි උන දෙයත් උවිඳු කරනවා කියලා මට ලොකු විශ්වාසයක් තියනවා.
තාත්තා සමාජවාදී භික්ෂු පෙරමුණ හැදුවට එක ජෙප්පෙක්වත් පන්සලකට යවා ගන්න බැරිවුණා. ජෙප්පෝ පන්සල් ගියේ කෑම කන්නයි හැංගෙන්නයි විතරයි. භෞතිකවාදී ඔස්තාර්ලනේ. ඔන්න බලන්න උවිඳු ඔක්කොම ජෙප්පො ටික පන්සලුත් යවලා තමයි නතර වෙන්නේ. මම දැක්කා රතු අලි පැටියෙක් උවිඳුට මෙහෙම කියලා තිබුණා.
” උවිඳු නාකි ටිකක් අල්ලාගෙන විප්ලවය කරන්න හදනවා.ඕකුන් ටික පන්සල් එක්ක ගිහින් නිවන් දක්කපං උවිඳු ” කියලා. එහෙම කියපු එකා මෙන්න යකෝ අප්‍රියෙල් හතර වෙනිදා පාන්දරම සදා සමරමු සොහොයුරෝ කියලා පෝස්ට් එකක් දාලා. ඇත්තටම ලැජ්ජා හිතුනා මමත් පළවෙනි පරපුරේ වීම ගැන.
එයාලට වටින්නේ මැරුණු මිනිස්සු විතරයි. මොකද ඒ මිනිස්සු මොකුත් ඉල්ලනේ නෑනේ. අදටත් ඒ වෙනස වෙනුවෙන් ජීවිත කාලයම කැප කරලා මැරි මැරී උපදින මිනිස්සු එයාලට පේන්නේ නෑ. ඒ මිනිස්සු ගැන කතා කරන්න විජේවීරට පුතෙක් හදලා මැරෙන්න සිද්ධ උනා. හැබැයි විජේවීර සහෝදරයා ඒකත් කරලා ගිහින්. දැන් උවිඳු රාජපක්ෂ කදවුරේ ධනපති පිල්ලියක් කරලා ඉවරයි. උවිඳු දැන් සී.අයි.ඒ කෙමනක්. හැබැයි මේවා කියන්නේ 2005 දී මහින්ද බලයට ගෙනාපු කට්ටිය. 2010 දී ෆොන්සේකා බලයට ගේන්න මරාගෙන මැරුණු කට්ටිය. 2015 දී මෛත්‍රී බලයට ගෙනාපු කට්ටිය. මාර කට්ටියක් තමයි බලනකොට ඒ කට්ටිය.
උවිඳු ඉතිහාසයේ කරපු සමහරක් ප්‍රකාශ කපලා කොටලා වීඩියෝ හදලා අන්තර් ජාලයම වනසලා. නිශ්ශ්ංක සේනාධිපතිගේ පිටිපසේ උවිඳු හිටගෙන ඉන්නවා. උවිඳුගේ ඔළුව ගලෝගෙන ගිහිල්ලා වෙන එකෙකුට හයි කරලා. දැන් රතු සහෝදරවරුන්ගේ නූතන සිරිසඟබෝ තමයි උවිඳු. ඔළුව නං පේන්නම බෑ. දුටු තැන ගලවනවා.
උවිඳු මේවා ඉස්සරහා හැසිරෙන විදිහ දැක්කාම මට එක දෙයක් හිතුනා. ඒ උවිඳු හරියටම තාත්තා පොත කියවගත්තු පුතෙක් කියලා. ඉතින් අන්තිමට මම උවිඳුගෙන් එක ඉල්ලීමක් කරනවා. රත්තරං පුතේ දෙයියන්ගේ නාමයෙන් කොහෙන්වත් වතුර උගුරක්වත් බොන්න එපා. මම එයාලා ගැන දන්න නිසයි කියන්නේ. තාත්තා බේරගන්න බැරි උන කාලකණ්ණි අපට තවත් ඒවගේ අත්දැකීමක් ඉතුරු කරන්න නං එපා රත්තරං පුතේ. එච්චරයි.
(ප්‍රියන්ජිත් විතාරණගේ මුහුණු පොතෙන්)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...