ශ්‍රී ලාංකික ජනතාව සිංහල-හින්දු අලුත් අවුරුද්ද සැමරීම අප්‍රේල් මාසයේ සිදුකරන විට රටේ කර්මාන්තකරුවන් තම ව්‍යාපාර වර්ෂය හෙවත් මුදල් වර්ෂය මාර්තු මස 31 වෙනිදාට අවසන් කර, ගත වූ අවුරුද්ද තුළ ලබාගත් ජයගැනීම් හෝ පරාජයන් අධ්‍යනය කරමින් සිටී. එබැවින් සිංහල-හින්දු අලුත් අවුරුද්ද කර්මාන්තකරුවන්ගේ මුදල් වර්ෂය සමඟ ආසන්න වශයෙන් සමපාත වන බැවින් 2020/2021 මුදල් වර්ෂය අප රටේ බහුතරයකගේ පරණ අවුරුද්ද ලෙසත් 2021/2022 මුදල් වර්ෂය ලැබුවා වූ නව වසර ලෙසත් සැලකිය හැකිය.
කොවිඩ් 19 පරදා කර්මාන්ත ජයගත් පරණ අවුරුද්ද
දේශීය කර්මාන්ත අභාවයට ගෙනගිය, ආනයන වලට මුල්තැන දී බටහිර රටවල සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උපදෙස් මත රට පාලනය කළ පස් වසරක් (2015-2019) තුළ කර්මාන්තකරුවන් දුර්වල වී ප්‍රපාතයට වැටී සිටියදී, ඔවුන් ගොඩනැගීමේ පොරොන්දුව පිට බලයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව 2020 ආරම්භයේ සිට නිෂ්පාදන වියදම් අඩු කිරීමට වැට් බදු (VAT) අඩුකරමින් සහ ආදායම් බදු අඩුකරමින් ගත් තීරණ ක්‍රියාවට නැගීම නිසි ලෙස ආරම්භ වූයේ ඉහත කී පරණ අවුරුද්දේ හෙවත් 2020/2021 මුදල් වර්ෂයේ සිටයි.
එහෙත් ලොව පුරා පැතිර ගිය කොවිඩ් 19 ව්‍යසනය මඟින් අපගේ පරණ අවුරුද්ද ආරම්භ වූයේ රට වසා දැමුනු තත්ත්වයක් මතය. කර්මාන්තකරුවන්ට තම කර්මාන්ත විවෘත කිරීමට පවා ඇඳිරිනීති අවසර පත් ලබාගැනීමට සිදු වූ අතර, ඉන් අනතුරුව සේවක සේවිකාවන් සේවයට ගෙන ඒමට පොළඹවා ගැනීම ද මුලදී අපහසු විය.
එවන් තත්ත්වයක් යටතේ රජය යම්තාක් දුරට සාර්ථකව කොවිඩ් 19 පාලනය කරමින් දුප්පත් ජනතාව අතර රුපියල් බිලියන පනහකට වැඩි මුදලක් බෙදා දීමට සහ රට ඉක්මනින් විවෘත කරගැනීමට පියවර ගත් නිසා කර්මාන්තකරුවන් හට ඉක්මනින් තම නිෂ්පාදන ක්‍රියාවලියන් පණගන්වා ගැනීමට හැකි විය. තවද ඉහත කී නව බදු ප්‍රතිපත්ති සහ අනවශ්‍ය ආනයන පාලනය කිරීමේ නව රජයේ ප්‍රතිපත්ති නිසාවෙන් පරණ අවුරුද්ද කර්මාන්තකරුවන් කොවිඩ් 19 තත්ත්වයන් යටතේ වුවද අති විශිෂ්ට ලෙස ජයගත් වර්ෂයක් වූ බව ඉතා පැහැදිලිය. බොහෝ දේශීය කර්මාන්තකරුවන්ගේ 2020/2021 ගිණුම් අනුව 2014න් පසු ඔවුන් ලබාගෙන ඇති ලාභය වසරක් තුළ ලැබූ විශාලම ලාභය වනු ඇත. ඇතැම් කර්මාන්තකරුවන් තම ගිණුම් ප්‍රසිද්ධ නොකරන බැවින් එම තත්ත්වය මහජනතාවට දැකිය නොහැකි වුවද කොටස් වෙළෙඳපොලේ ලියාපදිංචි කර්මාන්තයන්හි කොටස් මිල කිහිප ගුණයකින් ඉහල ගොස් තිබීම එයට කදිම සාක්‍ෂියකි.
ශ්‍රී ලංකාව තුළ රූපලාවන්‍ය නිෂ්පාදන, ගෙදරදොර පිරිසිදු කිරීමේ නිෂ්පාදන වල සිට කාබනික පොහොර දක්වා ක්ෂේත්‍ර කිහිපයක යෙදී සිටින මාගේ කර්මාන්ත 2020/2021 මුදල් වර්ෂය තුළ ඉතා විශාල ප්‍රගතියක් ලබා ඇති බව මට සහතික වශයෙන් පැවසිය හැක.
බැංකු පොලී අනුපාතය 5.5% දක්වා අඩු වීම
2019 වසර අවසාන වනවිට කර්මාන්තකරුවන් ලෙස අප ගෙවන ලද බැංකු පොලී අනුපාතය 12% සිට 15% පමණ විය. එනමුදු අද කර්මාන්තකරුවන් හට 5.5% සිට 7% දක්වා පොලී අනුපාත වලට බැංකු ණය ලබාගත හැක. එබැවින් තවදුරටත් බැංකු පොලී අනුපාතයන් කර්මාන්ත දියුණුවට බාධාවක් බව අපට පැවසිය නොහැක. යම් කර්මාන්තකරුවෙකු එයට වඩා වැඩි පොලියක් ගෙවන්නේ නම් එය ඔවුන්ගේ දුර්වලතාවයක් වන අතර ඔවුන් වහාම තම බැංකු සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුය.
කර්මාන්ත සේවක මහත්ම මහත්මීන්ගේ නිවාස ණයත් 7%ක පොලී අනුපාතයකට
කර්මාන්ත අංශය ඇතුලු සියලුම පෞද්ගලික අංශයේ වැටුප් ලබන්නා වූ සේවක මහත්ම මහත්මීන්ගේ නිවාස ණය අවශ්‍යතා සඳහා 7%ක පොලී අනුපාතිකයකට ණය ලබාදීමට සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වලට රජය විසින් නියෝග නිකුත් කර ඇත. කර්මාන්තකරුවන් ලෙස අපගේ සේවක මහත්ම මහත්මීන් හට එම 7% පොලියට නිවාස ණය ලබාගැනීමට උදවු කිරීම අපගේ වගකීමක් බව අප අවබෝධ කරගත යුතුය. එවිට අපගේ කර්මාන්ත මෙන්ම අප සේවක පක්ෂය ද ප්‍රගතිය කරා ගමන් කරනු ඇත.
ඉහත කරුණු අනුව පොදුවේ ගත්කළ අපගේ පරණ අවුරුද්ද කොවිඩ් 19 පරාජය කරමින් කර්මාන්තකරුවන් ජයග්‍රහණය කළ වසරක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
අලුත් අවුරුද්දේ කර්මාන්තකරුවන්ගේ යුතුකම්
සමාජයේ සෑම ස්ථරයකම අඩු වැඩි වශයෙන් හොඳ සහ නරක පැතිරී පවතී. කර්මාන්තකරුවන් අතරද පාරිභෝගිකයා රවටන සහ කූට ලෙස සෞඛ්‍යයට අහිතකර නිෂ්පාදන වෙළෙඳපොලට නිකුත් කරන කර්මාන්තකරුවන්ද සිටිති. ඒ අතර ඇතැම් බහුජාතික සමාගම් පෙරමුණ ගෙන සිටින බවද රටට හෙළිවී ඇත. එහෙත් බොහෝ දේශීය නිෂ්පාදන තත්ත්වයෙන් උසස් බව දැන් දැන් පාරිභෝගික ජනතාව වටහා ගනිමින් පවතී.
ඉහත තත්ත්වයන් යටතේ නව රජය විසින් ලබා දී ඇති බදු සහන භුක්ති විඳින අතරම තමන් විසින් රජයට ගෙවිය යුතු VAT සහ ආදායම් බදු නිසි ලෙස ගෙවීම කර්මාන්තකරුවන් රට වෙනුවෙන් කළ යුතු යුතුකමකි. අප නිසි ආකාරයෙන් බදු ගෙවිය යුතු අතර අඩු කර ඇති එම බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය වැඩිකර ගැනීමට ආදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරීන් උනන්දු විය යුතුය. කර්මාන්තකරුවන් නිසි ලෙස බදු ගෙවන්නේ නම් දැනට ඇති 8%ක VAT බද්ද වැඩි කිරීමට රජයට අවශ්‍යතාවයක් නොවනු ඇති අතර එය පාරිභෝගික ජනතාවට තම භාණ්ඩ සහ සේවා අඩු මුදලකට ලබාගැනීමට හේතුවක් වනු ඇත.
පරණ අවුරුද්ද ජයග්‍රාහී ලෙස අවසන් කරන ලද කර්මාන්තකරුවන්ගේ නව වසරේ පැතුම විය යුත්තේ අපනයන වෙළෙඳපොල ජයගනිමින් තම කර්මාන්ත සහ නිෂ්පාදන තවත් ඉහළ තලයකට ගෙනයමින් රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමය.
විදේශ විනිමය අර්බුදය විසඳීමටත් කර්මාන්තකරුවන් පෙරට ආ යුතුය
රටේ දේශීය ආර්ථිකයේ කොතෙක් ප්‍රගතියක් ලැබුව ද අපගේ රට විදේශ විනිමය හිඟයකට මුහුණ දී ඇත. බටහිර රටවල උපදෙස් වලට අනුව සිතුසේ පිටරට වලට ණය වෙමින් එම රටවල් වලින් ඕනෑම කුණුගොඩක් ආනයනය කිරීමට එකඟ වන සහ තම රටේ සම්පත් කුණු කොල්ලයට පිටරැටියන්ට විකුණා දැමීමට එකඟවන රූකඩ පාලකයින්ට අතහිත දී ඔවුන් බලයේ තබාගැනීමට බටහිර රටවල් සහ ඔවුන්ගේ අඩිපාරේ යන ඇතැම් ආසියාතිකර රටවල් සැදී පැහැදී සිටී.
කුඩා සහ දුප්පත් රටවල් තම ආර්ථික වහලුන් ලෙස පාලනය කිරීමේ ක්‍රමවේදය සඳහා එම රටවල් පළමුව ණය කරවීමටත් ඉන්පසු ඔවුන්ගේ ජාතික සම්පත් අත්පත් කර ගැනීමටත්, බටහිර රටවල් ක්‍රමවේදයන් සකසා ගන්නේ 1945න් අවසන් වූ දෙවන ලෝක යුද්ධයේ අත්දැකීම් මතයි. 1945ට පසුව ඇතිවූ සෑම යුද්ධයක්ම බටහිරින් පිට සිදුවී ඇති අතර බටහිර රටවල් ආයුධ විකුණා පොහොසත් වී ඇත. යුද්ධයන්ට මැදි වූ අනෙකුත් රටවල් ආර්ථික වශයෙන් දුර්වල වූ අතර එම රටවල සම්පත්, බටහිර රටවලට අයත් විශාල සමාගම් මගින් අත්පත් කරගෙන ඇත.
ඉහත ක්‍රමය යටතේ එම රටවල බලයේ සිටිනුයේ බටහිර රටවලට මානසිකව යටත් වූ රූකඩ පාලකයන් ය. ශ්‍රී ලංකාවට ද වරින් වර එවැනි පාලකයින් පත්ව ඇත. මෑත කාලීනව එවැනි රජයක් වසර 2015-2019 කාලය තුළ පැවති අතර එම කාලය තුළ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 13.5 ක් වන අතර එයට අමතරව හම්බන්තොට වරාය අවුරුදු 99කට චීනයට බදු දී ඩොලර් බිලියන 1.1ක් ද ලබාගෙන ඇත.
එසේ ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 14.6 ක මුදල් වලින් වැඩි වශයෙන් කර ඇත්තේ අවශ්‍ය සහ අනවශ්‍ය සියලු දේ ආනයනය කිරීමයි. ඇතැම් වර්ෂවල ආනයන ඇමරිකානු ඩොලර් බිලියන 22ද ඉක්මවා ගොස් ඇත. එසේ ණය වී දුප්පත් වූ ශ්‍රී ලංකාව MCC ගිවිසුම අත්සන් කිරීම මගින් තමන්ට රිසි සේ පාලනය කිරීමට ඇමෙරිකාව ගත් උත්සාහය මෑතකදී අපට දැක ගත හැකි විය.
වත්මන් රජය විසින් MCC ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ බටහිරට යටත් මානසිකත්වයෙන් රට ඉවත්කර ගැනීම නිසා මේ වනවිට බටහිර රටවල් සහ ජපානය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබාදීමට ඉදිරිපත් නොවේ. එනමුදු පසුගිය රජය විසින් සහ ඉන් පෙර ලබාගත් විදේශ ණය නියමිත පරිදි ගෙවා දැමීමට වත්මන් රජයට සිදු වී ඇත. එබැවින් විදේශ විනිමය සංචිතය පහල බැස ඇති අතර 2020/2021 මුදල් වර්ෂය තුළ රුපියල ද 4.5%කින් පමණ අවප්‍රමාණය වී ඇත.
මෙම තත්ත්වය යටතේ කර්මාන්තකරුවන් ලෙස අපට රටට අවශ්‍ය විදේශ විනිමය අපනයන මඟින් උපයා දීමටත් ආනයනික භාණ්ඩ වලට ආදේශක රට තුළම නිපදවා ආනයන තවත් අඩුකිරීමටත් වගකීම් පැවරී ඇත.
තවද රජය විසින් ශ්‍රී ලාංකීය ජනතාව වෙත මෑතකදී හඳුන්වා දී ඇති පෞද්ගලික සහ ව්‍යාපාර විදේශ විනිමය ගිණුම් (Personal & Business Foreign Currency Accounts) ආරම්භ කර ඒවාට හැකි පමණින් විදේශ මුදල් බැර කිරීමට ද අප ක්‍රියාකල යුතුය.
ඉහත සදහන් ක්‍රමවේද මගින් විදේශ විනිමය දේශීය බැංකු පද්ධතියට එක් කිරීමට කර්මාන්තකරුවන් සහ ශ්‍රී ලාංකීය ජනතාව අපොහොසත් වුවහොත් විදේශ විනිමය හිඟකමින් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිව අපගේ පරණ අවුරුද්දේ ලැබූ කර්මාන්ත ජයග්‍රහණය නව වසරේදී ගිලිහී යනු ඇති අතර නැවතත් ණය බර නිසා බටහිරට යටත් වූ රටක් බවට අප මව්බිම පත්වනු ඇත. රටේ ඉදිරි ගමනට කැපවුණු කර්මාන්තකරුවන් වන අප එවන් තත්ත්වයකට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බව තරයේ අධිෂ්ඨාන කරගත යුතුය.
සමන්ත කුමාරසිංහ
සභාපති
නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ලිමිටඩ්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...