ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි ලියු කෙටි කතාවක එන පරිදි මනුෂ්‍යයෙකුට මේ මහ පොළොවෙන් අවශ්‍ය උපරිම බිම් ප‍්‍රමාණය අඩි 6ක් දිග අඩි 4ක් පළල සෘජු කෝණාස‍්‍රයකි. ඒ ඔහුගේ මළසිරුර වළදැමීම සඳහා ය. එහෙත් ප‍්‍රායෝගික ලෝකය තුළදී කවුරුවත් අඩි 6 X 4 ප‍්‍රමාණයෙන් සෑහීමකට පත්නොවන අතර, මේ නොසෑහීම නිසා ප‍්‍රශ්න ගණනාවක් මතු වී ලෝක යුද්ධ පවා හටගනී. 2011 දී එවකට ශ‍්‍රී ලංකාව පාලනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව විසින් ශ‍්‍රී ලංකාවේ ගාලූ මුවදොරට යාබදව චීනයට ලබාදෙන ලද අක්කර 579ක් හේතුවෙන් රට තුළ රෞද්‍ර කතාබහක් හටගෙන තිබේ. ඒ ආණ්ඩුව චීනයට දුන්නේ ගොඩබිම් අක්කර 579ක් නොව මහ මුහුදෙන් අක්කර 579 කි. චීන්නු ඩොලර් බිලියන 15ක් වියදම්කර මහ මුහුද ගොඩකර පෝට් සිටිය ගොඩනැඟූහ.
මහ මුහුද ගොඩකර තැනූ කුඩා වෙරළක් මාලදිවයිනේ ද තිබේ. මෙහි වර්ග ප‍්‍රමාණය පර්චස් 20කට වඩා නැත. මැදපෙරදිග මහ සාගරය උඩින් ගුවන් යානයකින් යන ඕනෑම කෙනෙකුට මුහුද ගොඩකර තැනූ විශාල දූපත් සමූහයක් දැක ගැනීමට හැකි වනවා ඇත. පෝට්සිටිය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ සංකල්පයක් බව කියනු ලැබේ. 2010 දී පමණ කොළඹ වරායේ දකුණු කොටස ඉදිකරන විට වැලි පුරවා මුහුද ගොඩකරනු දුටු හෙතෙම කොළඹ නගරය වඩාත් විශාල කර ගැනීම පිණිස මේ ක‍්‍රමය භාවිතා කළ නොහැකි ද යන්න ගැන විමැසිලිමත් විය. අන්තිමේදී චීනයේ “චයිනා හාබර් කෝපරේෂන්” විසින් ගාලූ මුවදොර අසල මුහුද ගොඩකිරීමට පටන්ගන්නා ලදී. මේ අතර සන්ධාන ආණ්ඩුව විසින් මහ මුහුදෙන් අක්කර 579ක් චීනයට සින්නක්කර අයිතියට දෙනු ලදැයි කියමින් යූ.එන්.පියත්, ජේ.වී.පියත් බුරා හැලෙන්නට පටන් ගත්හ. එහෙත් එය පල් බොරුවකි. එදා ආණ්ඩුව සැලසුම් කර තිබූ පරිදි ගොඩකරන භූමියෙන් අක්කර 530ක් ලක් රජයට අයත් ය. තවත් අක්කර 49ක් පෝට්සිටියේ ආයෝජකයන් වන චීන සමාගමට අයත් ය.
ව්‍යාපාරයන් කරන විට තමන් කරන ආයෝජනයට ප‍්‍රතිලාභයක් ලබාගැනීම ආයෝජකයාගේ අරමුණය. මේ අනුව ඩොලර් බිලියන 15ක් වැයකර (මේ වන විට මේ වැය ඩොලර් බිලියන 25 දක්වා ඉහළ නැඟ ඇත.) මුහුද ගොඩකර නගරයක් හදා එය ලංකාවට භාර දී ආපසු යෑමට චීනුන්ට පිස්සු නැත. එසේ නම් අක්කර 49ක් පමණක් තමන් සන්තකයේ තබාගෙන ඉතිරිය ලංකා ආණ්ඩුවට දී චීන්නු කරබා ගැනීම පුදුමයට කාරණයකි. මේ අතර සන්ධාන ආණ්ඩුව පැරදී 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත්විය. ඒ සමගම පෝට් සිටියටත් චීනයටත් අමිහිරි කාලයක් උදාවූ අතර යහපාලන ආණ්ඩුව පෝට් සිටියට හැකි පමණ බාල්දි පෙරළීමටත් උත්සුක විය. මේ බාල්දියේ පළමු පියවර වූයේ චීනය සහ ලංකාව අතර අත්සන් කළ පෝට් සිටි ද්විපාර්ශ්වික ගිවිසුම අවලංගු කිරීමය. මෙය යහපාලන ආණ්ඩුව කළ ගොන්ම ගොන් වැඩකි. මහින්ද රාජපක්‍ෂ විසින් පෝට් සිටි ගිවිසුම අත්සන් කර තිබුණේ ලෝකයේ මහම බලවතුන් දෙදෙනාගෙන් කෙනෙකු වූ චීන ජනාධිපති සමඟය. මේ අනුව එම ගිවිසුම අවලංගු කිරීම චීනයේ කම්මුලට පයින් ගැසීමකි. එහෙත් ඉවසිලිවන්ත චීන්නු ලංකාව සමග තරහවූයේ නැත. චීනයේ යුද බලය සහ මුදල් බලය කෙතරම් ද යත් ඉන්දියාවට බම්බු ගහගත්තාවේ කියා පැය 24ක් තුළ ලංකාව චීන කොලනියක් බවට පත්කර ගැනීමේ හැකියාව චීන ජනාධිපතිට තිබිණ.
යහපාලනය අවුරුදු 5කට වඩා දුර නොයන බව චීනය දැන සිටියේය. එය එසේම සිදු වූ පසු පෝට් සිටිය යළි ගමන පටන් ගත්තේය. මෙහිදී තවත් වැදගත් යමක් කිව යුතුය. සිරිමා බණ්ඩාරනායකගෙන් පසු චීනය විසින් සලකනු ලැබූ එකම ලාංකික රාජ්‍ය නායකයා මහින්ද රාජපක්‍ෂ ය. 2015න් පසු එළඹි නරකම කාලයේදී පවා පෝට් සිටියේ ප‍්‍රධාන කාර්යාලය තුළ එල්ලා තිබුණේ මහින්ද රාජපක්‍ෂගේ පින්තූරයකි.
පෝට් සිටිය ගැන දැනට මතු වී ඇති වැදගත්ම ප‍්‍රශ්නය වන්නේ මෙය චීන කොලනියක් ය යන කාරණය ය. එහෙත් පෝට් සිටියේ බදු කාලය නිමා වන විට එය ලංකාවට නැවත හිමි වන බැවින් එවැනි ප‍්‍රශ්නයක් ඇතිවිය නොහැක.
මාතෘ භූමියේ අඟල් භාගයක්වත් මිලයට නොදෙන ගෝඨාභය සහ මහින්ද සහෝදරවරු එවැන්නකට කිසි කලෙකත් ඉඩ නොදෙන බව අපගේ විශ්වාසය වේ. ගෝඨාභය ඉතා සරල මිනිසෙකි. ඔහු සිංහල අවුරුද්ද සමරන විට එතැන සිටියේ පවුලේ හතරදෙනෙකු පමණි. මහින්ද සිංහල අවුරුද්ද සමරන විට සිටියේද පවුලේ අය පමණි. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව තිබූ තැනින් මේ සියලූදෙනා අද බිමට බැස ඇත්තාහ. පෝට් සිටිය යනු වෙළෙඳ ව්‍යාපාරයකි. එය චීනයට අයත්ව තිබී 99 අවුරුදු බද්දට බි‍්‍රතාන්‍යය විසින් ගනු ලැබ, බද්ද අවසන යළි චීනයට පවරාදුන් හොංකොං භූමිය ආකාරයේ ව්‍යාපාරික භූමියකි. අප හිතන්නේ පෝට් සිටිය ගැන අප එතරම් කලබල විය යුතු නැති බවය. මන්ද බදු කාලය නිම වූ පසු මෙය ගලවාගෙන චීනයට ගෙන යෑමට චීන්නුන්ට කවදාවත් හැකි වන්නේ නැත.
(දිවයින)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...