පුරවැසි කොලම

ශ්‍රී ලංකාවේ කොළඹ දකුණු වරාය ආසන්නයේ මුහුද ගොඩ කිරීම මඟින් නිර්මාණය කරන ලද පෝර්ට් සිටි නම් වූ දූපත ප්‍රයෝජනයට ගැනීම පිළිබඳව මේ වන විට බරපතල ආන්දෝලනාත්මක සංවාදයක් පැන නැගී ඇත. ඊට අදාළව පාර්ලිමේන්තුව මඟින් සම්මත කිරීමට නියමිත නව නීතියට එරෙහිව පාර්ශව කිහිපයක් අධිකරණය හමුවට ගොස් ඇත.  ඔවුන් අතුරින් බහුතර පිරිස ශ්‍රී ලංකාවට එරෙහිව පෙනී සිටින බෙදුම්වාදී කඳවුර නියෝජනය කරන බව පැහැදිළිවම පෙනේ. එසේම එම පිරිස් ඉන්දියානු රජයේ උවමනාවන් වෙනුවෙන් පක්ෂපාතී අදහස් දක්වන්නන් බවද රහසක් නොවේ. අදාළ පනත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට නියෝග කරන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටිති. ඒ අනුව පෝර්ට් සිටි දූපත විදේශ ආයෝජකයින් මුල්කරගත් ආයෝජන කලාපයක් බවට පත් කිරීම වැළැක්වීම ඔවුන්ගේ අභිලාෂය බව පැහැදිළි වේ. ඊට අමතරව පිරිසිදු වාමාංශික පක්ෂයක් ලෙස හඳුන්වාගන්නා පක්ෂයක් විරෝධතාවයක් මඟින් ප්‍රකාශ කරන්නේ මෙම ආයෝජන කලාපය නිසා ශ්‍රී ලංකාව, චීන ඇමෙරිකානු යුද්ධයක ගොදුරක් බවට පත්වන බවය.

සමාජවාදය විශ්වාස කරන එම පක්ෂයේ තර්කය අනුව ශ්‍රී ලංකාව විසින් චීනයට වාසි සැලසෙන එම ආයෝජන කලාප යෝජනාව අතහැර දැමුවොත් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව කරනු ලබන බලපෑම් අතහැර දමනු ඇත. එසේ නැතහොත් ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ උවමනාවන්ට ගරු කරමින් සහ ඊට අනුගතව හැසිරෙන්නේ නම් යුදමය ගැටුම් වලට මැදි නොවී සිටිය හැක. වෙනත් වචන වලින් කියන්නේ නම් ස්ත්‍රී දූෂකයෙකුට බලහත්කාරකම් කරන විට විරෝධය පළ නොකර සිටී නම් තුවාල සිදු නොවී ජීවිතය බේරා ගත හැක. එම උපදේශය විවිධ ඉන්දියානු සහ ඇමෙරිකානු උපදේශකයින් විසින්ද ලබා දෙන බවට සැකයක් නැත. ඒ අතර ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනියද වරාය නගර ව්‍යාපෘතිය හෙළා දකිමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකොට ඇත. ඇයට අනුව මෙම ආයෝජන කලාපය මුදල් විශුද්ධිකරණ කලාපයක් බවට පත් විය හැක. සමහරවිට ඇමෙරිකානු මහා මුදල් විශුද්ධිකරණ වෙළඳපොළට මෙම කුඩා වෙළඳපොළ අභියෝගයක් විය හැකි යැයි ඇය කල්පනා කරනවා විය හැක.

ශ්‍රී ලංකාවේ රජය සහ චීන සමාගමක් අතර අත්සන් කළ වාණිජ ගිවිසුමක් අනුව මෙම වර්ග කිලෝමීටර 2.6 ක නව භූමිය දූපතක් ලෙස නිර්මාණය කොට ඇත. ඒ සඳහා එම සමාගම් ඩොලර් මිලියන 1400 ක මුදලක් වැයකොට ඇත. එම සමස්ථ භූමියෙන් වාණිජ වශයෙන් භාවිතා කළ හැකි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 178 කි. හෙක්ටයාර් 90 ක පමණ භූමි ප්‍රමාණයක් පොදු පහසුකම් වලට වෙන් වේ. වාණිජ වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි භූමියෙන් චීන සමාගමට හෙක්ටයාර 116 ක් ලැබෙන අතර ශ්‍රී ලංකාවේ රජයට හෙක්ටයාර් 62 ක් ලැබේ. ශ්‍රී ලංකාවේ රජය විසින් අදාළ ව්‍යාපෘතියට මුදල් වැය නොකළ බැවින් එම භූමි ප්‍රමාණය රාජ්‍ය භාගය ලෙස හැඳින්වීම වරදක් නැත. කෙසේ වෙතත් අදාළ භූමිය සඳහා ශ්‍රී ලංකාවට අයත් සාගරයෙන් ලබාගත් වැලි ප්‍රමාණය මෙ.ටො මිලියන 100 ක් බවට ගණන් බලා ඇත. එම වැලිවල වෙළඳපොළ වටිනාකම දළ වශයෙන් ඩොලර් බිලියන 3 ක් ඉක්මවා යන බවට ඇස්තමේන්තු කොට ඇත. එනම් ශ්‍රී ලංකාව ලබාදුන් වැලි වල වටිනාකම චීන සමාගම ආයෝජනය කළ මුදල මෙන් දෙගුණයකට වැඩි වේ.

පෝර්ට් සිටි දූපත නිර්මාණය කිරීමට අදාළ ගිවිසුම අනුව සමස්ථ භූමිය ශ්‍රී ලංකාවේ රජයට අයත්වන අතර චීන සමාගමට ලැබෙන හෙක්ටයාර් 116 ක භූමිය පවරනු ලබන්නේ 99 අවුරුදු බදු පදනම යටතේය. එම භූමිය එම සමාගම විසින් වෙනත් සමාගම් වලට ආයෝජන කටයුතු සඳහා පැවරිය හැක්කේ බදු පදනම යටතේ පමණි. එම බදු ගිවිසුම් වලට නාගරික සංවර්ධන අධිකාරියද අත්සන් තැබිය යුතු වේ. ඊට අමතරව පොදු පහසුකම් සහිත භූමි ප්‍රමාණය කළමණාකරනය කිරීමේ වගකීම සහ බලය පැවරෙන්නේ ශ්‍රී ලංකාවේ රජයටමය. එසේම ශ්‍රී ලංකාව සතු භූමිය බදු දීම මඟින් අදායම් උපයා ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාවේ රජයට ලැබේ. එම භූමියේ පර්ච් 1 ක වටිනාකම රු. මිලියන 15 කට වැඩි වන බවට ඇස්මේන්තු කොට ඇත. ඒ අනුව එම ඉඩම් බදු දීම මඟින් ශ්‍රී ලංකාවට උපයාගත හැකි ආදායම ඩොලර් මිලියන 1800 කි. පසුගිය රජය විසින් ව්‍යාපෘතිය වසර 2 කට ආසන්න කාලයක් පමා කිරීම නිසා ශ්‍රී ලංකාවේ රජයට තමාට අයත්වන භූමියෙන් වන්දි ගෙවීමට සිදුවිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ රජයට අහිමි වූ භූමි ප්‍රමාණය හෙක්ටයාර් 6 ක් වන අතර එහි වටිනාකම ඩොලර් මිලියන 120 කි.

මෙම වටිනා භූමිය යොදා ගනිමින් කළ යුතු දේ කුමක්ද යන්න ඕනෑම රට වැසියෙකු විසින් මතු කරන ප්‍රශ්ණයකි. මෙවැනි ව්‍යාපෘති දියත් නොකර ශ්‍රී ලංකාවේ මිනිසුන් තිබෙන හැටියට ජීවත් විය යුතු යැයි යමෙකු පවසන්නේ නම් තවදුරටත් කථා කිරීමට යමක් ඉතිරි වන්නේ නැත. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම නිසා ලැබී ඇති මහා වාසනාව යොදා ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම යනු උපාය මාර්ගික තීන්දුවකි. ඉන් ලැබෙන ප්‍රතිලාභ සැමට සමානව ලැබෙනවාද යන්න වෙනත් තලයක බේරා ගත යුතු ප්‍රශ්නයකි. ඊට එරෙහි විය යුත්තේ ශ්‍රී ලංකාව දුප්පත් රාජ්‍යයක් ලෙස තම කොල්ල කෑම පවත්වාගෙන යාම සඳහා විවිධ උපායමාර්ගික ක්‍රමවේද යොදා ගන්නා අධිරාජ්‍යවාදී බලවේග පමණි. ඒ රාජ්‍යයක දුප්පත්කම යනු යටත් කිරීමේ පූර්ව කොන්දේසියක් වන බැවිනි.  කෙසේ වෙතත් මෙම වටිනා භූමිය එළවළු වගා කිරීම සඳහා යොදා ගත නොහැකි බව ඕනෑම රට වැසියෙකුට තේරුම් ගත හැක. එසේ නම් පවතින ආණ්ඩුව, කුමක් වුවත්, පවතින රාජ්‍යය පාලන ක්‍රමය සමාජවාදී හෝ ධනවාදී වුවත් මෙම භූමියේ භූගෝලීය පිහිටීම අනුව එය විදේශ ආයෝජන මුල් කර ගත් ආයෝජන කලාපයක් සඳහා සුදුසු බව තේරුම් ගැනීම සඳහා ජනාධිපති නීතිඥයෙකු වීමට අවශ්‍ය නැත. මීට පෙර 1978 දී ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ රට තුල භූගෝලීය කලාපයක් සළකුණු කොට එම භූමිය පාලනය කෙරෙන විශේෂ ආර්ථික කොමිෂන් සභාවක් නව නීතියක් මඟින් පිහිටුවනු ලැබීය. නමුත් එම නීතියේ දුර්වලතා සහ වෙනත් හේතු මත අපේක්ෂිත ප්‍රථිඵල ලබාගත නොහැකි විය. මැලේසියාව වැනි රටක් වසරකට ඩොලර් මිලියන 20,000 ක පමණ විදේශ ආයෝජන ලබා ගන්නා විට ශ්‍රී ලංකාවට මිලියන 1000 ක හෝ ආයෝජන දිරිමත් කිරීමට හැකි වී නැත. එම නීතිය දෙවරක් සංශෝධනය කළද තත්වය වෙනස් වූයේ නැත.

අධිරාජ්‍යවාදී සමාගම් වලට සහන දෙමින් ඔවුන් අපේ රටට කැඳවා අපව ස‍ූරා කෑමට ඉඩ සලසන්නේ කුමකටදැයි උග්‍ර වාමාංශිකයෙකු විසින් ප්‍රශ්ණ කළ හැක. නමුත් සමාජවාදී රටක් ලෙස සැලකෙන  චීනය  එවැනි විශේෂ සහන සහිත ආර්ථික කලාප හෙවත් ආයෝජන කලාප බිහි කොට ඇත. ඒ සඳහා ඔවුන් විසින් නව නීති සම්පාදනය කොට ඇත. එහිදී ඔවුන් සලකා බලනු ලබන්නේ උපාය මාර්ගික වැදගත්කම සහ සහන වලට සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභ වල වටිනාකමය. බොහෝ විට එහිදී පරිසර සාධක වලට ලැබෙනුයේ අඩු සැලකිල්ලකි. කෙසේ වෙතත් භූමියේ බදු ආදායම්, රැකියා අවස්ථා, සංචාරක කර්මාන්තය මෙන්ම යම් සේවා සහ කර්මාන්ත මඟින් රටට ලැබෙන විදේශ විනිමය ආදී සියළු ප්‍රතිලාභ මේ අවස්ථාවේදී නිෂ්චිතව ගණනය කොට නැත. කෙටි කාලීනව ඉදිකිරීම් ආශ්‍රිතව ඩොලර් මිලියන 15,000 ක් පමණ ආයෝජනය විය හැකි බව පැවසේ. නාගරික සංවර්ධන අධිකාරිය ඊට අදාළව නගර සැලසුමක් 2018 දී පමණ සකස් කොට ඇත.

ඊට අමතරව එම කාලයේදී  නාගරික සංවර්ධන අධිකාරිය විසින් එම ව්‍යාපෘතිය සඳහා නව නීතිමය රාමුවක් සකස් කරන බවටද ඩේලි මිරර් පුවත්පත විසින් වාර්තා කරනු ලැබීය. ඉන් පසු 2019.08.05 දින ගැසට් නිවේදනය මඟින් එම භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ 2019.07.23 දින පාර්ලිමේන්තුවේදී සම්මත කළ යෝජනාවකට අනුවය. එම භූමිය රජයේ ඉඩම් ආඥාපනත යටතේ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ දීමනා පත්‍රයක් යටතේ නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇති අතර එම අධිකාරිය 2019.08.21දින දරණ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කොට ඇත. ඒ අනුව චීන සමාගමට, බදු පදනම යටතේ ලබාදෙන ඉඩම අයත් වන්නේ නාගරික සංවර්ධන අධිකාරියට බව පැහැදිළි වේ. එම සාක්ෂි අනුව ජනාධිපති නීතිඥයෙකු වන හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු විසින් සිදු කළ ප්‍රකාශයක් සාවද්‍ය බවටද පැහැදිළි වේ. ඔහු විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ මෙම භූමිය ශ්‍රී ලංකාවේ භූමියට අයත් නොවන බැවින් අදාළ නීතිය ව්‍යවස්ථා විරෝධී වන බවය.

ඔහු විසින් තව දුරටත් සඳහන් කරනු ලැබුවේ මෙම භූමිය චීන කොලනියක් බවට පත්වන බව සහ ‘’මොන්ට් වීඩියෝ’’ ජාත්‍යන්තර සම්මුතියට අනුව වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත් කළ හැකි බවය. නමුත්  ඒ සඳහා පාරම්පරිකව යම් ජනතාවක් වාසය කළ යුතු අතර ඔවුන් විසින් තෝරාපත් කර ගත් පාලන ව්‍යුහයක් තිබිය යුතුය. ඒ අනුව එම ප්‍රකාශයද සාවද්‍ය බව ඔප්පු වේ. එම භූමි ප්‍රදේශය සඳහා කළමණාකරන කොමිසමක් ශ්‍රී ලංකාවේ නීතියට අනුව පත් කළද මහජන ඡන්දයෙන් තෝරාපත් කර ගන්නා නගර සභාවක් වැනි පාලන ව්‍යුහයක් නිර්මාණය වන්නේ නැත. එහිදී නගර සභාවක වැඩ කොටස ඉටු කරනු ලබන්නේ කොමිසමේ පාලනයට යටත් දේපළ කළමණාකරන සංස්ථාවක් හෝ සමාගමක් මඟිනි. ඊට අමතරව එම භූමියේ පදිංචිවන පිරිස් අතුරින් සියළු විදේශකයින් වීසා මත රටට ඇතුල් වන අය වන අතර ඔවුන්ට කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද බලය ලැබෙන්නේ නැත. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද බලය ලැබෙන්නේ එම භූමියේ සාහාධිපත්‍ය දේපළ වල පදිංචි වන ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණි.

කෙසේ වෙතත් දැන් ප්‍රශ්ණය පැන නැගී ඇත්තේ මෙම ආයෝජන කලාපය කළමණාකරනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිය අනුව පිහිටුවනු ලබන කොමිෂන් සභාව පිළිබඳවය. එහිදී මූලික වශයෙන් කොමිෂන් සභාවක් පිහිටුවීම වෙනුවට යම් වාණිජ ආයතනයක් හෙවත් සමාගමක් පිහිටුවන්නේ නම් 51% ක හෝ ඊට වැඩි අයිතිය චීන සමාගමට ලබා දීමට සිදුවේ. එය ශ්‍රී ලංකාවට ඉතා අවාසිදායක වනු ඇත. රජයේ පලනයට යටත් කොමිසමක් පිහිටුවීම මඟින් එම නීතියට අනුව ශ්‍රී ලංකාවේ රජයේ අධිපත්‍යයට එම ආයෝජන කලාපයේ ක්‍රියාකාරකම් යටත් කිරීමේ හැකියාව ලැබේ. යම් තාක්ෂණික වෙනස්කම් තිබුණද ඉහත සඳහන් කළ ආකාරයට ප්‍රතිපත්තිමය වශයෙන් එම ආකෘතිය 1978 දී පිහිට වූ මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාවට සමාන වේ. එදා 1972 ව්‍යවස්ථාව යටතේ එම නීතිමය රාමුව ව්‍යවස්ථාවට එකඟ බව අධිකරණය මඟින් පිළිගන්නට යෙදුණි. ඒ අනුව වර්තමාන පනතේ ප්‍රතිපත්තියට අභියෝග කිරීම වෙනුවට තාක්ෂණික දුර්වලතා වලට එරෙහිව ගතහැකි පියවර දෙකක් ඇත.

ඉන් පළමු වැන්න අදාළ නීතිය ව්‍යවස්ථාවට අනුකූලද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් විමසීමය. දැන් එම ක්‍රියාවලිය සිදුවෙමින් පවතී. එහෙත් අධිකරණයට ප්‍රතිපත්තිමය කරුණු අභියෝගයට ලක් කළ නොහැක. උදාහරණයක් ලෙස කොමිසමක් වෙනුවට සමාගමක් පිහිටුවන ලෙස නියෝග කිරීමේ බලයක් අධිකරණයට නැත. අධිකරණයට කළ හැක්කේ ව්‍යවස්ථාවට පටහැනි කරුණු සංශෝධනකය කරන ලෙස හෝ එසේ නොවන්නේ නම් විශේෂ බහුතර බලයෙන් සම්මත කරන ලෙස හෝ ඊට අමතරව ජනමත විචාරණයක් පවත්වන ලෙස නියෝග කිරීමය. ජ්‍යෙෂ්ඨ නීතිඥයින්ගේ අධ්‍යනයන්ට අනුව හා නීතිපතිවරයාගේ ඇගයීමට අනුම මෙම පනත් කෙටුම්පත් සාමාන්‍ය බහුතර බලයෙන් සම්මත කළ හැක. අධිකරණය මඟින් සංශෝධන සහිතව හෝ රහිතව එවැනි තීන්දුවක් ලබාදුන්නහොත් තාක්ෂණික දුර්වලතා නිවැරදි කිරීම සඳහා තවත් අවස්‍ථාවක් ලැබේ. ඒ පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීමය. කුමන පාර්ශව විසින් ඉදිරිපත් කළද තාක්ෂණික කාරනා වලට අදාළ සංශෝධන සඳහා මහජන සංවාදයක් මඟින් බලපෑම් කළහොත් ආණ්ඩුවට ඒවා සැලකිල්ලට ගැනීමට සිදුවේ.

එහෙත් සාධාරණීකරනය සහිතව අදාල සංශෝධන ඉදිරිපත් කිරීම වෙනුවට පටු දේශපාලන හෝ පුද්ගලික උවමනාවන්ට අනුව හුදු විවේචන පමණක් ඉදිරිපත් කිරීම මඟින් රටට අයත් මහා සම්පතකට අගතියක් සිදුවේ. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන ස්වාමීන්වහන්සේ නමක් මාධ්‍ය මගින් එල්ල කළ විවේචනයකට අනුව මෙම ආයෝජන කලාපය කොමිසමක් මඟින් පාලනය කිරීම ප්‍රභාකරන්ට උතුර බෙදා වෙන් කර දුන්නාටත් වඩා භයානකය. තවත් වාමාංශික පක්ෂයකට අනුව ආයෝජන කලාපයේ සේවකයින්ට රුපියල් වලින් වෙනුවට විදේශ මුදල්වලින් වැටුප් ගෙවීමද වරදක්වේ. මෙවැන් විවේචන වලට පිළිතුරු බැඳීම අමන ක්‍රියාවකි. මෙම පනතට එරෙහිව ඉදිරිපත්වන බොහෝ විවේචන පනත නිසි ලෙස අධ්‍යයනය කිරීමකින් තොරව  හෝ සිතා මතා ගොතන ලද බොරු මත පදනම්ව ඉදිරිපත් කරන බව පෙනේ. උදාහරණයක් ලෙස පාර්ලිමේන්තුවට වාර්තා නොකිරීම පිළිබඳව  චෝදනාව පදනම් විරහිතය. කොමිසම මගින් වාර්ෂික මූල්‍ය වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව පනතේ පැහැදිලිව සඳහන්වේ. ඊට අමතරව මෙම කොමිසමට එරෙහිව නඩු පැවරීමේ බලය සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට මෙන්ම ආයෝජකයින්ගේ පාර්ශවකරුවන්ටද හිමි වේ.

ඊට අමතරව නියාමන අධිකාරි වලට අදාල නීති නොසලකා මෙම කොමිසමට ක්‍රියාත්මක විය හැකි බවට චෝදනා එල්ල වුවද නියාමන අධිකාරිය සහ කොමිසම එකඟතාවයෙන් අදාල කටයුතු සිදු කළ යුතු බව සහ නියාමන නීති අදාළ ප්‍රදේශය තුළ බලපවත්වන බව පනතේ බල තල යටතේ පැහැදිලිව සඳහන්වේ. තාක්ෂණිකව මෙවැනි කොමිසම් සභාවක් පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ නියාමන ආයතන මගින් ලබා දිය යතු අනුමැතිය කඩිනමින් ලබා ගැනීම මිස අනුමැතියකින් තොරව ක්‍රියාත්මක වීම නොවේ. අපේ රට ව්‍යාපාර කිරීමේ පහසුව අනුව ලෝකයේ 99 වන ස්ථානයේ පසුවන්නේ නියාමන ආයතනවල අකාර්යක්ෂමතාවය නිසා බව රහසක් නොවේ. දළ වශයෙන් විදේශ ආයෝජනයක් යථාර්තයක් බවට පත් කිරීම සඳහා ආයතන 15කින් පමණ අනුමැතිය ගැනීමට සිදුවේ. ඒ සඳහා වසර 3ක පමණ කාලයක් ගත විය හැක. එම තත්වය වෙනස් නොකර විදේශ ආයෝජන දිරිගන්වන්නේ කෙසේද? කෙසේ වෙතත් මහබැංකුවේ අර්ජුන් මහේන්ද්‍රන් විසින් ලබා දුන් අත්දැකීම් අනුව කොමිසමේ සාමාජිකයන් පත් කිරීමේ බලය යටතේ එම සාමාජිකයන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යතු බවට සංශෝධනයක් ඇතුල් කිරිම ඉතා වැදගත්වේ. මෙම පනතට මහජන සහාය ලබාගත හැක්කේ  එවැනි සංශෝධන අවංකව පිළිගැනීම මගිනි.

වෛද  කේ.එම්  වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More