පළාත් සභා ඇති කළේ හොඳින් නෙවෙයි. ඒ වෙලාවේ රටම මහා තර්ජනයකින් යටපත් කළා. ඉන්දියන් හමුදාව පවා අපේ රටට එව්වා. දහතුන් වැනි සංශෝධනය වෙනුවෙන් ඡන්දය දෙන්න එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරු පවා අදිමදි කළා. ඉතින් ඒ මන්ත්‍රීවරුන්ගෙන් දින නැති ඉල්ලා අස්වීම් ලිපි ඇරගෙන මේ වැඩේට ඡන්දය ගන්න ජේ. ආර්. මහත්තයා කටයුතු කළා.
පළාත් සභාව කියන්නේ කිසිම වැඩක් ඇති ආයතන විශේෂයක් නෙවෙයි. මේ හරහා මිනිස්සුන්ට කිසිම පහසුවක් වෙලා නෑ. මේ වැඩක් නැති ආයතන වෙනුවෙන් කරන මහා වැය බර දරන්න වෙලා තියෙන්නෙත් මහ ජනතාවට. ඉතින් මේ ක්‍රමය නැති කරලා දාන්න ඕන කියලා මම හිතනවා. ඒ වෙනුවෙන් කතා කරනවා.
මෙහෙම කතා කරද්දි සමහරු අදටත් ඉන්දියාව පෙන්නලා අපිය බය කරනවා. ඒ තමයි ජේ. ආර්. මහත්තයාගේ උපක්‍රමය ඉස්සරහට ඇරගෙන යන අය.
පළාත් සභා අහෝසි කරන ක්‍රම ගණනාවක් තියෙනවා. පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධන පනතක් ගෙනැල්ලා තුනෙන් දෙකේ ඡන්දයෙන් එක සැරෙන් ඒක කරන්නත් පුළුවන්. එහෙම නැතිනම් ටිකෙන් ටික මේවා නැති කරලා දාන්නත් පුළුවන්. අපි කොච්චර උපක්‍රමශීලි ද කියන එක උඩ තමයි ඒ දේ තීරණය වෙන්නේ.
සමගාමී ලැයිස්තුවේ 9 වැනි අයිතමය විදිහට තියෙන සෞඛ්‍ය විෂයය ගැන හිතන්න. මේ කොරෝනා වසංගතය වෙලාවේ ඒ විෂයය ආණ්ඩුවට පවරාගන්න බැරිකමක් නෑ. එහෙම කළා කියලා ඉන්දියාවට කරන්න පුළුවන් මොකක්ද? ආණ්ඩුව මෙහෙම කරන්නේ ජාතික තර්ජනයක් ඇතිවෙලා තියෙන හින්දා. එහෙම කළාම සෞඛ්‍ය සේවා සැපයීම කාර්යක්‍ෂම විදිහට කරන්න පුළුවන්.
දැන් තියෙන අකාර්යක්‍ෂමකම පැහැදිළි කරන කාරණයක් වසංගත රෝග අංශය විසින් දිනපතා නිකුත් කරන වාර්තාවේ අන්තිමට පොඩි අකුරින් සඳහන් කරලා තියෙනවා.
“මාරු කර යවන රෝගීන් රෝහල් දෙකේම ලියාපදිංචි වන නිසා මෙම එකතු කිරීම නිවැරැදි නොවේ.”
මෙහෙම අවුල් තියාගෙන මේ වගේ මහා වසංගතයකින් ගොඩ එන්න බෑ. ඉතින් මේ හැම දෙයක් ම එක පාලනයක් යටතට ඇරගෙන වැඩේ නිරවුල් කරන්න ඕන. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුත් නිතර ම ඉල්ලීම් කරනවා. ඉතින් ඒක කරන්න බැරි ඇයි?
පළාත් සභා ලැයිස්තුවේ 4 වැනි අයිතමය විදිහට තියෙන පළාත් පාලන ආයතන (මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා) ක්‍රමය ශක්තිමත් කරලත් මේ වැඩේ කරන්න පුළුවන්. මිනිස්සු නිතර ම ගනුදෙනු කරන්නේ මේ ආයතනත් එක්ක. මේ ආයතනවලට යන්න පහසුයි. ලොකු දුරක් ගමන් කරන්න ඕන නෑ. ඉතින් උපක්‍රමශීලි විදිහට මේ ආයතනවල බලය වැඩි කරන්න පුළුවන්. එහෙම වෙද්දි කවුරුවත් පළාත් සභා ගැන හිතන්නේ නෑ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගැන හිතන්න. දැන් මිනිස්සු කවුරුවත් කච්චේරිවලට (දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට) යන්නේ නෑ. ඉස්සර එහෙම නෙවෙයි. ඉතින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ තියෙන පාලන ආයතන ශක්තිමත් කරන එක තමයි හොඳම උපක්‍රමය වෙන්නේ.
පළාත් සභා ලැයිස්තුවේ 8 වැනි අයිතමය විදිහට තියෙන පළාත්බද මගී ප්‍රවාහනයත් එහෙම වැඩක්. දැනට තියෙන අකාර්යක්‍ෂම මගී ප්‍රවාහන සේවය විධිමත් කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය අංශයේ, පුද්ගලික අංශයේ සහ ජනතාවගේ ප්‍රාග්ධන දායකත්වයෙන් සමාගමක් හරි දෙකක් හරි හැදීමෙන් විතරයි. ලංගම, පුද්ගලික බස් හිමියන් සහ ජනතාව මේ සඳහා දායක කරගන්න පුළුවන්. එහෙම වෙද්දි මේ විෂයය මුළුමනින්ම ඒ පොදු සමාගම යටතට පත්වෙනවා.
පළාත් සභා ලැයිස්තුවේ 17 වැනි අයිතමය යටතේ තියෙන සමුපකාර ක්‍රමය රාජ්‍ය පාලනයෙන් නිදහස් කරන්න පුළුවන්. සමුපකාර ඇති වෙන්න ඕන පොඩි තැනේ (ගමේ) ඉඳලා ඉහළට. ගඩොල්වලින් තමයි ගෙවල් හදන්නේ. එහෙම නැතුව ගෙවල් හදලා ඒවායින් ගඩොල් වෙන් කරන්නේ නෑ. සමුපකාර ක්‍රමයත් එහෙමයි. ගම් මට්ටමින් හදන සමුපකාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටම දක්වා එකතු කරන්න පුළුවන්. ඒවා එතැනින් උඩට එකතු කරන්න හොඳ නෑ. එහෙම කළොත් ලොකු නිලධාරි මණ්ඩලයක් ඇතිවෙලා සමුපකාරවල පාලනය මිනිස්සුන්ගෙන් ගිලිහෙනවා.
ඉතින් මේ විදිහට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. මේ දේවල් කරන්න ඉන්දියාවෙන් අවසර ගන්න ඕන නෑ. දැන් තියෙන තත්ත්වය යටතේ පළාත් සභා ඡන්දය තියන්න පුළුවන්කමක් නෑ. එක තවදුරටත් කල් දාන්න පුළුවන්. ඒ අවසරය ප්‍රයෝජනයට ඇරගෙන උඩින් කියපු දේවල් එකින් එක කරලා පළාත් සභා ක්‍රමය නැතිවෙන්න අරින්න බැරිකමක් නෑ.
පළාත් සභා ක්‍රමය නැති කරනවාට අකැමැති ජනතාව නෙවෙයි. මේ හරහා වරප්‍රසාද ගන්න බලාගෙන ඉන්න පිරිස. ඒ අතර දේශපාලනඥයන්, ඔවුන්ගේ පවුල්වල අය වගේ ම නිලධාරීනුත් ඉන්නවා. ඉතින් මේ සල්ලි කන අකාර්යක්‍ෂම ක්‍රමය නැති කරන්න ඕනකමක් ඒ අයට නෑ.
ඒත් මේ කාරණය ගැන කතා කරන්න අපිට පුළුවන්. කළ යුතු දේ ගැන ශක්තිමත් ජනමතයක් ඒ සංවාදය හරහා ඇති කරන්නත් පුළුවන්. ඒකට විරුද්ධව සමහරු අදහස් පළ කරන බව ඇත්ත. එහෙම අය ඉන්දියාව පෙන්නලා අපිව බය කරන්න හදන බවත් ඇත්ත. වරප්‍රසාද නැතිවෙනවාට අකැමැති අය එහෙම කරන එක ස්වභාවිකයි.
(ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...