පුරවැසි කොලම

ශ්‍රී බුද්ධ වර්ෂ 236දි අද වැනි පොසොන් පුර පසළොස්වක පොහෝදිනයක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුදහම හඳුන්වා දීම පිණිස මෙරටට වැඩම කළහ. ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක නම් අනාගාමී උපාසකතුමාත් යන රාජකීය ධර්ම දූත පිරිස මිහිඳු මහරහතන් වහන්සේ සමඟ ශ්‍රි ලංකාවට සැපත් වූහ. ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් හරියටම වසර 218කට පසුව පැළලුප් නුවර අශෝකාරාමයේ දී තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වුණි. මහරහතන් වහන්සේලා දහස් නමකගේ සහභාගිත්වයෙන් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ මෙම තෙවැනි ධර්ම සංගායනවේ ප්‍රධානත්වය දැරූහ. ධර්ම සංගායනාවේ ප්‍රධාන දායකත්වය ධර්මාශෝක අධිරාජයා විසින් දරණ ලද්දාහ. ධර්මාශෝක අධිරාජයාණන් දායකත්ව්ය සැපයූ මෙම තෙවැනි ධර්ම සංගායනාවෙන් සිදු වූ මාහැඟි ප්‍රතිඵලය නම් එතෙක් දඹදිව සීමිත ප්‍රදේශයක පමණක් පැවැති බුදුදහම, එවකට දැන සිටි රටවල් නවයකට ධර්ම දූතයන් මාර්ගයෙන් ප්‍රචාරය කොට හැරීමට කටයුතු කිරීමයි. ධර්මාශෝක අධිරාජයා ලක්දිව කෙරෙහි සුවිශේෂී අවධානය යොමු කළ බව මනා කොට පසක් වන්නේ ස්වකීය පුත්‍රයා වූ මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රාජකීය දූත පිරිසක් ම මෙරටට පිටත්කොට හැරීම නිසාවෙනි.

මිස්‌සක පව්ව

වර්තමාන මිහින්තලය සහ මිස්‌සක පව්ව යන්නට ඉපැරණි හැඳීන්වීම වන්නේ චේතියගිරි හෙවත් සෑගිරි යනුවෙනි. එහි සරල ව්‍යවහාරික නිරුක්‌තිය වන්නේ ස්‌තූප කන්ද යනුවෙනි. මේ අනුව ධාතුන් වහන්සේ තැන්පත් කළ ස්‌තූප විශාල සංඛ්‍යාවක්‌ මෙහි පිහිටා තිබූ බව පෙනේ. මහාවංශයට අනුව මෙය මිශ්‍රක පව්ව ලෙසින් ද හඳුන්වා ඇති බව පෙනේ. (මහාවංශ පරිච්ඡේදය 13 ගාථාව 20) වංශ කතාවන්හි පැනෙන ලෙස අනුරාධපුර නගරයෙන් පිටත වූ මිහින්තලාව ආගමික මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය වූයේ දෙවන පෑතිස් රජතුමා අතින්ම ය. මිහිඳු හිමියෝ ස්වකීය ජීවිතාවසානය තෙක්ම දෙවන පෑතිස් රජතුමා සමඟ ඔහුගේ අනුයාත රජවරුන් විසින් ප්‍රමුඛත්වය සපයනු ලැබූ නිබඳ පැවැති ආගමික ක්‍රියාකාරිත්වයක් සහිත මිහින්තලාවෙහි ම විසූ සේක. මිහිඳු හිමි ඇතුළු සංඝයා වහන්සේ මුල්ම වස්‌ කාලය ගත කරන්නේ මිහින්තලයේදී ය. වංශකතා අනුව මිහිඳු හිමියන් සමඟ පැමිණි භණ්‌ඩුක උපාසක තෙමේ පැවිදි වී උපසම්පදාව ද ලබා රහත් බවට ද පත් වන්නේ මිහින්තලාවේ දී ය. ශී‍්‍ර ලංකාවේ දී ගිහියකු පැවිදි බවට පත් වන ප්‍රථම අවස්‌ථාව මෙය වේ. අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේ නමක්‌ ද මිහින්තලයේදී රෝපණය කර ඇත. මහා අරිට්‌ඨ අමාත්‍යවරයා ඇතුළු පනස්‌ දෙදෙනකු සසුන්ගත වන්නේ ද මෙම පුණ්‍ය භූමියේ දී ය. දේවානම්පියතිස්‌ස රජතුමා සංඝයා වහන්සේ උදෙසා ලෙන් 68 ක්‌ පූජා කරන්නේ ද මිහින්තලේදී ය. ථුපාරාමයේ තැන්පත් කිරීම සඳහා වැඩම කරන සර්වඥ ධාතුන් වහන්සේ මුලින්ම තැන්පත් කරන්නේ ද මිහින්තලේ ය.

මහණෙනි, ධ්‍යාන වඩන්න ප්‍රමාද නොවන්න

කරුණාවන්ත පියතුමකු තම දයාබර දරුවන් අමතා අනුකම්පාවෙන් අවවාද කරන්නාක් මෙන් බුදුරජාණන් වහන්සේ ද තම ශ්‍රාවකයන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් මෙසේ අවවාද කරති. මහණෙනි, ශ්‍රාවකයන් කෙරෙහි හිතවත් වූ අනුකම්පා සහගත වූ ශාස්තෘවරයකු විසින් අනුකම්පාවෙන් යමක් කළ යුතු ද එය මා විසින් ඔබට කරන ලද්දේ ය. මහණෙනි, මෙන්න ගස්මුල්. මෙන්න හිස් වාසස්ථාන. මහණෙනි, ධ්‍යාන වඩන්න. ප්‍රමාද නොවන්න. පසුව විපිළිසර නොවන්න. මේ නුඹලාට අපගේ අනුශාසනාවයි. බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිසටම අවවාද කළේ “ඣායථ භික්ඛවෙ මා පමාදත්ථ” මහණෙනි, ධ්‍යාන වඩන්න ප්‍රමාද නොවන්න කියායි. මෙහිදී “ධ්‍යාන වඩන්න” යන්නෙන් අදහස් වෙන්නේ භාවනා කිරීමයි. භාවනාව යනු සිත වැඩීමයි. එසේ වැඩිය යුත්තේ කුසල් දහම් ය. සිත තුළ කුසල් දහම් වැඩෙන මූලිකම කාරණාව බුදුගුණ සිහි කිරීමයි. බුද්ධානුස්සතිය යනුවෙන් දක්වන්නේ එසේ බුදුගුණ සිහි කරමින් වැඩීමයි. බුද්ධානුස්සතිය වැඩීමෙන් උපචාර සමාධියකට ඉතා ඉක්මණින් පැමිණිය හැකි ය. බුද්ධානුස්සතිය වඩන විට ධ්‍යාන සිත් සමීපයෙහි හැසිරෙන සිතුවිලි පහළ වේ. “බුද්ධානුස්සති” යන වචනය සෑදෙන්නේ “බුද්ධ” හා “අනුස්සති” පද දෙක එකතු වීමෙන් ය. මෙහිදී “බුද්ධ” යන්නෙන් බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත ගුණස්ඛන්ධය අර්ථවත් වේ. “අනුස්සති” යනු නැවත නැවත සිහි කිරීමයි. මේ අනුව අපරිමිත බුදුගුණ නැවත නැවත සිහි කිරීම බුද්ධානුස්සතිය යි. බුදුගුණ සිහි කරමින් ඒ අනුව සිත වැඩීම බුද්ධානුස්සති භාවනාවයි. අනන්ත අපරිමිත වූ බුදුගුණ සාමාන්‍ය ලෝක සත්වයාට යම් තරමකටවත් අවබෝධ කර ගනු පිණිස සියලු බුදුගුණ කැටි කොට ගුණ නවයකට බෙදා දක්වා තිබේ. නවඅරහාදී බුදුගුණ යනුවෙන් ව්‍යවහාර කරන්නේ ඒ බෙදා දැක්වීමයි .

බුදු සරණ පුවත් පතේ අනුග්‍රහයෙනි…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More