පුරවැසි කොලම

ලංකා ඉතිහාසයේ අන්තිම අවාසනාවන්ත කාල වකවානුවක් උදා වෙලා තිබෙන්නේ. ජාතිය නැවැත ගොඩනැඟීමට නොහැකි වන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් අප ඉදිරියට ගෙනත් තිබෙනවා. මෙහි තිබෙන භයානකම කාරණාව වන්නේ රටට එරෙහි දේශද්‍රෝහී බලවේග සහ දේශප්‍රේමී යැයි සිතාගෙන හිටපු පාර්ශ්වය පවා නිහඬව හෝ වක්‍රකාරයෙන් එයට සහාය දැක්වීමයි.

13 වැනි සංශෝධනයට අදාළ සමගාමී ලැයිස්තුව ඉවත් කර, උතුර නැඟෙනහිරින්ද නැඟෙනහිර උතුරින්ද ඒ පළාත් දෙක රටින්ද වෙන් කර, රටවල් නවයක් බිහි කර, රටවල් නවයක ස්වාධීන රාජ්‍යයන් නිර්මාණය කර, බලය දුර්වල කර, රට විනාශ කරන යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් හැටියට ඇවිත් තිබෙන්නේ. එය නොකියවා, එහි අග මුල බේරා නොගෙන ඊට අත උස්සන්න බලාගෙන සිටින විශාල පිරිසකුත් අප අතර සිටිනවා. සටකපට විදිහට රට බෙදා යළි නිවැරැදි කළ නොහැකි වැරැද්දක් කරන්නයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. මත්තල ගුවන් තොටුපොළ දුන්නත්, හම්බන්තොට වරාය දුන්නත් අනූ නව අවුරුද්දකින් හරි අපට ආපසු ගන්න බැරි වෙන එකක් නැහැ. ඒත් කෑලි කඩා රටවල් නවයක් හැදුවාට පසුව, සදාකාලිකව ජාතීන් අතර මරා ගන්නා දේශයක් හැදුවාට පසුව සියවසක් නොව මේ මහ පොළොව පවතින තුරු නැවැත එකතු කරන්න හැකි වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී ඒ වුවමනාව තිබෙන දෙමළ ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදීන්ගේ වුවමනා හා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ වුවමනා වෙනුවෙන් කැමැත්තෙන් සිටින පිරිසක් සමඟ අපට අද සටන් කරන්න සිද්ධ වෙලා.

මේ ප්‍රශ්නය දෙස උපාය හා උපක්‍රමිකව තෝරා බේරාගෙන බුද්ධිකව ක්‍රියාත්මක වියයුතුයි. ආණ්ඩුව මේ වෙනකොට සැලැස්මක් සූදානම් කරගෙන ඉන්නේ. බුද්ධාගමට නිසි තැන ආණ්ඩුව අලුතින් හදන ව්‍යවස්ථාවේ නැහැ වගේ පෙන්වනවා. ඉන් බුද්ධාගම බේරා ගන්නා තැනට අපව අරගෙන යනවා. එහිදී අප විරෝධතා ප්‍රකාශ කරන විට එකපාරටම කියනවා බුද්ධගාමට දී ඇති නිසි තැන දෙක ව්‍යවස්ථාවෙන් වෙනස් කරන්නේ නැහැ කියලා. අපව රවටලා ඔවුන්ට අවශ්‍ය බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත කර ගැනීමයි. ඒක තමයි සැලැස්ම. හොඳම උදාහරණය තමයි මල්වත්තේ නායක හාමුදුරුවෝ. මල්වත්තේ පිපෙන්න ඕනෑ අරලිය මල් මිසක නියඟලා මල් නෙවෙයි. නායක හාමුදුරුවෝ ඒ බව අවබෝධ කර ගන්න ඕනෑ.

මලවත්තේ නායක හාමුදුරුවරුන්ව රවටා, නායක හාමුදුරුවරුන්ගේ තියෙන පුංචි පුංචි කාරණා පාවිච්චි කර, නායක හාමුදුරුවරුන්ගේ ඔළුව නරක් කර නායක හාමුදුරුවරුන්ගෙන් ඔවුන්ට ඕනෑ කරන ප්‍රකාශය අරගෙන නායක හාමුදුරුවරුත් අන්දලා වැඩ කරන එක තමයි මේ අයගේ සැලැස්ම වෙන්නේ.
අවසාන විග්‍රහයේදී රට කෑලිවලට කඩලා අවසන් කළාට පසු බුද්ධාගමට තැනක් ඉතිරි වෙන්නේ කෙහොමද? මේක හරියට කසායයි මුට්ටියයි වගේ. හදන කසාය හොඳ වට්ටෝරුවකින් හදන කසායක්. හැබැයි මුට්ටිය කෑලිවලට කැඩුවට පස්සේ කසාය හදන්නේ මොකේද?

සමහර මහා නායක හාමුදුරුවරු හිතාගෙන ඉන්නවා නම් කෑලි ටික එකතු කරලා නැවත මුට්ටිය හදාගන්න පුළුවන් වෙයි කියලා, ඒක කළ හැකි වැඩක් නෙවෙයි.
මහා නායක හාමුදුරුවරු ප්‍රමුඛ තෛ්‍ර නිකායික මහා සංඝරත්නය ඉල්ලා සිටි ඉල්ලීම්වලට පයින් ගැසූ ආණ්ඩුවත්, ආණ්ඩුවට උල් පන්දම් දීපු නිල විරුද්ධ පක්ෂයත්, ආණ්ඩුවට සහයෝගය දුන් අනිකුත් පක්ෂත් මේ රටේ දේශද්‍රෝහී ව්‍යවස්ථාව සම්මත වෙන පාපයට සම්මාදන් වෙලා ඉවරයි.

ඍජුව හෝ වක්‍රව සහයෝගය දුන්නත්, කටයුතු සිදු වෙන්න ඇරලා සිටියත් දෙකම සමානයි. ඇතැම් විට ඇත්ත විරෝධයට වඩා බොරු විරෝධයක් මවාපෑම බරපතළ වරදක්.
13 ව්‍යවස්ථා සංශෝධනයේ සමගාමී ලැයිස්තුව ඉවත්කොට පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ඇතුළු පූර්ණ බලතල දී නැවැත රට කැඩී යන තැනට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදා තිබෙනවා. 13 වැනි සංශෝධන බලාත්මක කිරීමේ යටි අරමුණින් ඊටත් වඩා භයානක යෝජනා ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ ජනතාවගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මනස හදන්නයි. කෙසේ හෝ රට ඍජුව බෙදා ගැනීමට නොහැකි වුණොත් රට බෙදාගැනීමට අවශ්‍ය මූලික අවශ්‍යතාවක් වන 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්නයි මේ සැලසුම් කරන්නේ.

මේ සියලු දේ සිදු වෙන්නේ බුද්ධාගමට 100%ක් තැන තිබෙන කාලයකයි. බුද්ධාගමට 100%ක් තිබෙනකොට තමයි දහස් ගණනක් හාමුදුරුවරුන්ගේ ඔළු පැළුවේ. ටයර් සෑයවල පිච්චුවේ. සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට බලතල දීමෙන් පසු සේරුවිල පුද බිම අයත් පළාත් සභාව තීරණය කළොත් අපේ පළාත් සභාවේ ආගම බුද්ධාගම නොවෙයි කීවොත් මොකද වෙන්නේ?

දැනට මුළු ලංකාවටම තිබෙන්නේ එක උසස් පෙළ විභාගයයි, එක සාමාන්‍ය පෙළ විභාගයයි. රට බෙදුවොත් උසස් පෙළ විභාග නවයක්, සාමාන්‍ය පෙළ විභාග නවයක්. විෂය නිර්දේශ නවයක්. ඉඩම් ප්‍රතිපත්ති නවයක්. පොලිසි නවයක්. විවාහ නීති නවයක්. එක පළාත් සභාවක අවුරුදු ‍ෙදාළහෙන් විවාහ වෙන්න පුළුවන්. තව පළාත් සභාවක අවුරුදු දහ අටෙන් විවාහ වෙන්න පුළුවන්. මෙහෙම වෙන් කළාම මොකටද ඒකීය රාජ්‍යය කියන එකේ තේරුම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම රාජ්‍ය 9ක් නිර්මාණය කර අවසන් කළාට පසුව එක පළාත් සභාවකට අවශ්‍ය පරිදි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කරන්න බැරි වෙයිද? අන්න එදාට හැකි වෙයිද හැම පාසලකම බුද්ධාගම උගන්වන්න? එතකොට බුද්ධාගමට නිසි තැන ඉතිරි වෙනවාද?

ඒකීය කියන කෑල්ල තියෙනවා නේන්නම් කිය කියා ඉන්න එකේ තේරුමක් තියෙනවාද? ඒකීය කියන්නේ වචනයක්. ඒ ඒකීය කියන වචනය විතරක් ඉතිරි කොට අනිත්වා බෙදා වෙන් කිරීම හරියට දික්කසාද නොවී තරහා වෙලා ඉන්නවා වගේ වැඩක්. විවාහ වෙලා තමයි, නමුත් ඉන්නේ එක් අයෙක් උඩ තට්ටුවේ, අනිත් කෙනා යට තට්ටුවේ. අන්න එහෙම තැනකටයි මේ රට ගේන්න හදන්නේ.

එතැනට රට වෙනස් කොට නාස්ති කර අවසන් වෙනකම් ද බලාගෙන ඉන්නේ?
පිටරට ගිජුලිහිණියන්ට ගිලින්න පහසු වෙන්න කෑලි කෑලිවලට කැඩීම තමයි ගිලින්නාගේ ස්වභාවය වෙන්නේ. ඒ ගිලගැනීම උදෙසා බටහිර රටවල තිබෙන වුවමනාවයි. ඒ වෙනුවෙන් පෙනී සිටින පිරිසක් සමඟයි අපට සටන් කරන්න වෙලා තියෙන්නේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන කවර දේශපාලන පක්ෂයක අයකු වුණත් මේ මවුබිමට ආදරය කරන්න ඕනෑ. පක්ෂය කුමක් වුණත් පාට කුමක් වුණත්, ඒ අය මේ වෙලාවේ නියෝජනය කරන්න ඕන පක්ෂයේ නායකයාගේ මතය නෙවෙයි. රටේ ඒකීය භාවය ගැන තීන්දුවක් ගන්නවා නම් පාර්ලිමේන්තුවට යවපු ජනතාවගේ මතය වෙනුවෙන් පෙනී සිටින්න ඕනෑ මේ වෙලාවේ.

“සීරුවෙන් සිටින ජනමත පෙළ ගැස්ම” සම්මන්ත්‍රණයේදී කළ දේශනය ඇසුරිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More